පොල් වතුර ඉවත දමන්න එපා එය මිල කළ නොහැකි ඖෂධයක්

මාර්තු 17, 2021

සොබා දහමෙන් අපට දායාද කරඇති දේ බොහෝ ය. ඒ අතර ආහාර සඳහා භාවිත කළ හැකි අප නොදන්නා දෑ ද ඇත. එමෙන් ම ආහාර සැකසීමේ දී එහි රසය, සුවඳ, ගුණය වර්ධනය කිරීමට යොදා ගත හැකි රස කාරක වර්ග ද ඇත.

දේශීය ආහාර සැකසීමේ දී අප යොදා ගන්නා දේශීය රස කාරක වර්ග 42කි. ඉන් රස කාරක කිහිපයක් ගැන අදත් අපි ඔබව දැනුවත් කරන්නෙමු.

 

 

පොල්

ඉංග්‍රීසියෙන් Coconut ලෙස හැඳින් වේ. කාබොහයිඩ්‍රේට්, මේදය සහ විටමින් බහුලව අඩංගු ය. ආහාර රසවත් කිරීමට ගා ගත් පොල් ලෙස ද, ගා ගත් පොල් බැද ගැනීමෙන් ද, ගා ගත් පොල් බැද අඹරා ගැනීමෙන් ද, ගා ගත් පොල් අඹරා ගැනීමෙන් හා පොල් කැබැලි ආකාරයෙන් ද වූ ලෙස විවිධාකාරයෙන් ආහාර රසවත් කිරීමට පොල් යොදා ගනී.

පොල් ගෙඩියක් ගෙනා විට එය ඔසු කුටියට ගැනීමට පෙර එහි පොල් මුඩ්ඩ ගළවා පොල් ගෙඩියේ කෙඳි ඉවත්කර එය සෝදා ගත යුතුයි. පොල් ගබඩා කිරීමේ දී සතුන්ට ලැගීමට නොහැකි පිරිසුදු ස්ථානයක ගබඩා කළ යුතුයි.

පොල් ගෙඩිය බින්දායින් පසුව පොල් වතුර ඉවත දැමීමට බොහොමයක් ගෘහණියන් පුරුදු වී සිටිනවා. එහෙත් පොල් වතුර හොඳ ඖෂධයක්. එය පානය කිරීම මඟින් සිරුරට සිසිල් බවක් ද ලබා ගත හැකියි. එහෙත් එය බීමට අකැමැති නම් පොල් මිරිකීමේ දී එම පොල් වතුර දමා මිටිකිරි මිරිකා ගැනීමට පුළුවන්. එමගින් පොල් කිරිවල ඇති පෝෂ්‍ය ගුණය වැඩි වේ. කොස්ඇට කළුපොලට, වට්ටක්කා කළුපොලට ආදී ව්‍යාංජන සඳහා හාල් පොල් බැද අඹරා එකතු කරයි.

පොල් කිරි

 

 

අපේ දේශීය ආහාර පිසීමේ කලාවේ අත්‍යාවශ්‍යම දෙයක් ලෙස පොල් හැඳින්විය හැකිය. එයිනුත් පොල් කිරි විශේෂය. හොද්ද, නැතිනම් කරියක් පිස ගැනීමට පොල් කිරි නැතිවම බැරි වීම හේතුවයි. මෙය Coconut milk ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වේ. විස නාශකයක් ලෙස භාවිත කළ හැකියි. යම් විසක් ශරීර ගත වූ විට එම විස නැසීමට පොල් කිරි පෙවීම දේශීය වෙදකමේ දී සිදු කරයි. මලබද්ධය නැති කිරීමට ද පොල් කිරි සමත් ය. පිත නසයි. ප්‍රෝටීන බහුල රස කාරකයකි. පොල් කිරි යෙදීමෙන් ආහාරවලට රසය මෙන්ම උකු බවක් ද ලබා දීමට සමත් ය.

කිරි එළවළු සඳහා පොල් කිරි යොදා ගන්නා අතර ඇතැම් අතුරුපස වර්ග හා රසකැවිලි වර්ග සැකසීමේ දී ද පොල්කිරි යොදා ගනී.

පොල් තෙල්

 

 

ඉංග්‍රීසි භාෂාවෙන් Coconut oil ලෙස හැඳින්වේ. පොල් තෙල් බැදුම්, තෙල් දැමීම් සඳහා භාවිත කරයි. ගැඹුරු තෙලේ බැදීමෙන්, තෙම්පරාදු කිරීමෙන් ආහාර රසවත් කිරීමට යොදා ගනී. බැදුම්, තෙම්පරාදු, තෙල් දැමීම් ආදිය සඳහා මෙන්ම රස කැවිලි ආදිය සැකසීමේ දී ද පොල් තෙල් යොදා ගනී.

සිරුර පෘෂ්ටිමත් කරයි. සංතෘප්ත මේදය අඩංගු නිසා ශරීරයට හිතකර ය. නමුත් මේ පෝෂ්‍ය ගුණය ලබා ගත හැකි වන්නේ පිරිසුදු පොල් තෙල් භාවිතයෙනි.

එනසාල්/ කරදමුංගු

 

ඉංග්‍රීසියෙන් Cardamom ලෙස හැඳින් වේ. තුන්දොස් සමනය කරන ගුණයෙන් යුතුය. මුඛ රෝග, උදර රෝග, අජීර්ණ රෝග සඳහා යොදා ගන්නා ඔසුවකි. එමෙන්ම මෙය සුවඳ කාරකයකි.

පොළොස්, සීනිසම්බෝල වැනි ව්‍යාංජන වර්ග සැකසීමේ දී මෙන්ම කහ බත්, එළවළු බත් වැනි විශේෂිත බත් වර්ග සැකසීමේ දී ද යොදා ගනී. එයට අමතරව වටලප්පන් වැනි අතුරුපස වර්ග සැකසීමේ දී හා රස කැවිලි වර්ග සැකසීමේ දී ද යොදා ගනී.

කලකට පෙර මංගල උත්සවවල දී විසිතුරු කොළවල එතූ එනසාල් ඇට පිළිගන්වනු ලැබීය. මේ සඳහා එහි ඇති ඖෂධීය ගුණය මෙන්ම සුවඳ ද හේතු වන්නට ඇති.

සාදික්කා

 

 

මෙය ඉංග්‍රීසි භාෂාවෙන් Nut Meg ලෙස හඳුන්වයි. ඖෂධ සෑදීමේ දීද යොදා ගන්නා ද්‍රව්‍යයකි. රස කාරකයක් මෙන්ම මෙය සුවඳ කාරකයක් ලෙසින් ද යොදා ගනී.

ආහාර රුචිය වඩවයි. වමනය ඇති විට ගුණදායක ය. සාදික්කා ව්‍යාංජන රසවත් කිරීමට මෙන්ම ඇතැම් රස කැවිලි වර්ග සැකසීමේ දී ද යොදා ගන්නා රස කාරකයකි.

 

ලබන සතියේ තවත් රසකාරක ගැන දැනුමක් ලබමු