ලංකාව විසාලා නුවරක් නො කරන්න අපට ලොකු වගකීමක් තියෙනවා

මැයි 5, 2021

 

අවුරුදු කෑවා කියන්නේ අවුරුද්දම කෑවා කියන එකද? මෙවර ඒ ගැන කුමන වසරකදීටත් වඩා ඒ ගැන සිතන්න වෙලා. සෞඛ්‍ය නීති පිළි නො පැදි අවුරුදු සාද, අවුරුදු විනෝද ගමන්, නෑ ගමන් තුන්වැනි රැල්ලකට මුල පුරලා.

කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන පෙබරවාරි, මාර්තු මාසයේ මුල අඩුවෙන් වාර්තා වීම නිසා අපේ අයගේ මුව ආවරණ ගැලවුණා. දුරස්ථ භාවය දුරු වුණා. වසංගතයක් තිබුණ බවත් අමතක වුණා. අන්තිමට ඒ නිසාම අපට භයානක තුන්වැනි රැල්ලක් ගැන කතා කිරීමට සිදුවෙලා. පළමු වැනි දෙවැනි රැලි වගේ නො වෙයි තුන් වැනි රැල්ල සුනාමියක් තරමට බරපතළයි. මේ වන විටත් එහි භයානකකම අප පවුල් පිටින් විඳිමින් සිටිනවා. නව කොරෝනා වෛරසය වයස අවුරුදු 60 - 65 ඉක්මවූ අයට මෙපමණ කල් වැඩිපුර බැට දුන්නත් දැන් දැන් ළමා, තරුණ, ගැබිනි කියා වෙනසක් නැතිව ප්‍රහාරය එල්ල කරනවා. ඒ නිසා වෛරසයෙන් බේරී සිටීම පවුලේ වගකීමක් වෙලා.

මෙවර තම මුහුණුවර වඩාත් දරුණුකර ගනිමින් පැමිණෙන වෛරසය වැඩි සාන්ද්‍රණයකින් උගුරේ රැඳෙනවා. මෙසේ උගුරේ රැඳෙන වෛරස් ආසාදිත පස් දෙනකුගෙන් එක් අයකුගේ පමණ පෙණහලු දක්වා ගමන්කර පෙණහලුවල ගර්ත දක්වා ගමන් කරනවා. එසේ ගමන්කර ගර්තවලට හානි සිදුකරනවා. එවිට රුධිරයට ඔක්සිජන් ලබා දීමේ කර්තව්‍ය හරියාකාරව සිදු වෙන්නේ නැහැ. රුධිරයට ඔක්සිජන් ලැබුණොත් තමයි අපේ මොළය, හදවත, වකුගඩු, අක්මාව ව‍ගේ සියලු අවයව හොඳින් ක්‍රියාත්මක වන්නේ. ජීවීව පවතින්නේ. රුධිරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සුළු වශයෙන් අඩු වුණත් ස්වසන රෝගය උග්‍ර වෙනවා. හදවත වැනි වැදගත් අවයවවලට හානි වෙනවා. මරණයට පවා එය හේතුවන්න පුළුවන්. වයස් භේදයකින් තොරව මේ හානිය සිදු වෙනවා. කෝවිඩ් - 19 නිසා නිරායාසයෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවී ආශ්වාසයෙන් ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එයින් තත්ත්වය වඩාත් බරපතළ වෙනවා. මේ නිසා මෙවැනි රෝගීන්ට ඔක්සිජන් බාහිරව සපයන්න සිදු වෙනවා. රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් දියුණුම රටක පවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඔක්සිජන් සැපයීම දුෂ්කර කාර්යයක් වෙනවා. ප්‍රතිඵලය ආදරණීයයකුගේ අවාසනාවන්ත අකල් මරණයක්. ඉන්දියාවට රෝගය දරුණු ලෙස බලපෑම ලංකාවට විශාල තර්ජනයක්. මේ නිසා මේ අන් කවර කාලයකටත් වඩා අප පරෙස්සම් විය යුතු කාලයක්. අප සිටින්නේ විශාල අනතුරක් අබිමුවේ.

දොර ජනෙල් වැසූ වායු සමීකරණය කළ පරිසරයක ජීවත් වන විට රෝගී වීමේ අවදානම දෙගුණ තෙගුණ වෙලා. රෝගියකු සිටි එවැනි පරිසරයක පැය 11/2 ක කාලයක් පුරා විසබීජය රැඳී පවතිනවා. රෝගියා වැසුණු තැනක සිටින කාල වේලාව අනුව පවතින විසබීජ ප්‍රමාණය ද වෙනස් වෙනවා. නව කොරෝනා වෛරසය ශරීරගතවී සති දෙකක් යනතුරු රෝග ලකුණු ඇති වන්නේ නැහැ. සමහරුන්ට තද උණක්, උග්‍ර කැස්සක්, උගුර රිදීම නැතිව හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන්නත් පුළුවන්. එනම් නියුමෝනියාව තත්ත්වය උත්සන්නවූවාට පසු තමන්ට රෝගය ඇති බව දැන ගැනීමට තිබෙන ඉඩ වැඩියි. මීට හේතු කීපයක් බලපානවා. එක් හේතුවක් උගුරේ ආසාදනයක් නැතිව කෙළින්ම විසබීජය පෙණහලුවලට ගොස් නියුමෝනියාව වැලඳීම. මුල් නව කොරෝනා වෛරස් ප්‍ර‍භේදය සියයකට ආසාදිත වුණොත් රෝග ලකුණු පෙන්නුම් කළේ සියයට විස්සයි. අලුත් ප්‍ර‍භේදය ආසාදිත වූවන් රෝග ලකුණු පෙන්නුම් කරනවා වැඩියි. හතිය, පපුවේ තද ගතිය අසාධ්‍යවූ විට ඇතිවන රෝග ලකුණු.

 

 

උපදෙස්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය

පද්මා ගුණරත්න

*********************

මෙවර වෛරස් ප්‍රභේදය ආසාදනය වූ විට උගුරේ වේදනාවටත් වඩා හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන්න පුළුවන්. එසේ වන්නේ නියුමෝනියාව වැලඳී රෝගය උත්සන්න වූ විටයි. මේ දිනවල හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වඩාත් සැලකිලිමත් විය යුතුයි. කතා කරන විට හතියක් එනවා නම්, හුස්ම ගැනීමේ සුළු හෝ අපහසුතාවක් ඇත්නම්, හුස්ම තද කරගෙන එක දිගට දහයට හඬනඟා ගණන් කිරීමට බැරි නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. සාමාන්‍යෙයන් කෙනකුට හුස්ම ඉහළට ගෙන එක දිගට හඬනගා හතළිහට පනහට ගණන් කිරීමට පුළුවන්. මූලික අවස්ථාවේම වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්. එසේ නොවුණොත් ප්‍රතිඵල මාරාන්තිකයි.

කෙනකු අසුන් ගෙන විටදී ඔක්සිජන් අවශ්‍ය ප්‍රතිශතය තිබුණත් සුළු ක්‍රියාවක යෙදුණත් ඔක්සිජන් මට්ටම පහළ බසියි.

වෙනදා පඩි පෙළ කිසිදු අපහසුතාවක් නැතිව නැග්ගත් එක් පඩි පෙළක් නඟිද්දීත් වෙහෙසක් දැනෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. එය කොරෝනා වෛරස් ආසාදනයේ ලකුණක් වීමට පුළුවන්.

වෙනදා පහසුවෙන් කළත් දැන් වචන දහයක් කතා කරද්දීත් වෙහෙසක් දැනෙනවා නම් එයත් නො සලකා සිටිය යුතු තත්ත්වයක් නො වෙයි. මුල් අවස්ථාවේ රෝගය හඳුනා ගත් විට දැඩි සත්කාර ඒකකයට යාමට සිදුවන්නේ නැහැ. වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම පහසුයි.

පෙණහලු ඉදිමුණු විට හුස්ම නතරකර ගෙන පනහට පමණ ගණන් කිරීම අසීරුයි.

අපට ඉහළට හුස්මක් ගෙන හතළිහට ගණන්කළ පසු කෙටි දුරක් ඇවිද යළි පැමිණ ඒ ගණන කළ නො හැකි නම් එය සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. එවිට වහාම වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුයි.