කෝවිඩ් ඩෙංගු පාචනය අතීසාරය මාරයන්ට දරුවන් බිලිගන්නට ඉඩ නොදෙමු

ජුනි 16, 2021

 

පවත්නා වසංගත රෝග තත්ත්වයත් සමඟින් වැඩියෙන්ම පීඩාවට පත් ව සිටින්නේ දරුවන්. ඒ වගේම මේ වනවිට විවිධ රෝග ව්‍යාප්තියත් සමඟින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බොහෝ බාධක එල්ල වෙලා. කෝවිඩ් ව්‍යාප්තිය කෙරෙහි හැමෝගෙම අවධානය යොමුව ඇති නිසා ඩෙංගු කෙරෙහි ඇති අවධානය සෑහෙන්න අඩුවෙලා.

ඒත් ඔබ දන්නවාද ඩෙංගු රෝගයත් යළි හිස ඔසවා ඇති බව. ඒත් එක්කම පසුගියදා ඇතිවුණු ගංවතුර, නායයෑම් ආදියත් සමඟින් පාචනය, උණසන්නිපාතය, අතීසාරය වැනි වසංගත රෝගත් දරුවන් අතර බහුලව පැතිරෙන්න පටන් අරන්.

 

දිනකට කෝවිඩ් දරුවන් 4, 5 ක්

කෝවිඩ් තෙවැනි රැල්ලේ දී දෛනිකව දරුවන් හතර පස් දෙනෙක් කෝවිඩ් රෝගීන් බවට වාර්තා වෙනවා. පසුගියදා මාස අටක බිලිඳකුද කොරෝනා වෛරසය වැලඳී මිය ගියා. කෝවිඩ් නිසා බොහොමයක් මාපියන්ට ඩෙංගු අමතක වෙලා.

 

ඩෙංගු මාරයා යළි හිස ඔසවයි

කෝවිඩ් සහ ඩෙංගු රෝගවල බොහෝ විට ඇත්තේ එකම රෝග ලක්ෂණ. කෝවිඩ් සහ ඩෙංගුවලදී උණ තත්ත්වය නම් බොහෝ දුරට එක සමානයි. තද උණ මේ දෙකේදී ම හට ගන්න පුළුවන්. කෝවිඩ්වලදී ඇතැම්විට උණ නැතිව තිබෙන්නත් පුළුවන්. මීට අමතරව ඩෙංගුවලදී තද හිසේ කැක්කුමක් ඇතිවෙනවා. විශේෂයෙන් දරුවන් තමන්ට අධික හිසේ කැක්කුමක් ඇති බව පවසනවා. ඒත් එක්කම ඇස් යට කැක්කුමක් ද දරුවන් අතරේ දැකිය හැකියි. මෙවන් රෝග ලක්ෂණ දරුවන් කෙරෙන් දුටුවත් රෝහල් කරා ගෙන ඒමට බියක් දක්වන්නේ කෝවිඩ් තත්ත්වය නිසා. යම් හෙයකින් පී. සී. ආර්. පොසිටිව් වුවහොත් නිරෝධාන මධ්‍යස්ථාන කරා යන්නට වේවි. දරුවන් තනිවම තබන්නට වේවි යැයි මාපියන් සිතීම මෙයට හේතුවයි. පී. සී. ආර්. පොසිටිව් වුවත් දරුවන් මව, පියා හෝ භාරකරුවකු සමඟිනුයි රෝහල්ගත කිරීම සිදු කරන්නේ. ඒ නිසා එවැනි දේ පිළිබඳ අනියත බියක් ඇතිකර ගනිමින් රෝගී දරුවන් නිවෙසේ තබාගන්නට එපා. පැරසිටමෝල් මාත්‍රාවන් දෙද්දී විටෙන් විට දරුවාට උණ බැස යන්නට පුළුවන්. මෙවැනි විටකදී දරුවා සිරුර මහන්සි කරමින් ක්‍රීඩා කිරීම, දුව පැන සිටීම එතරම් යහපත් නැහැ. මේ නිසයි රෝහල්ගත කිරීම අත්‍යාවශ්‍ය වන්නේ.

තද උණ තත්ත්වයක් ඇති වී දරුවා කෙරෙන් වෙහෙසකර බවක්, රෝගී බවක් ඉස්මතු වන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු කරා යෑම නුවණට හුරුයි.

එහිදී පළමු, දෙවැනි දවසේ දී අවශ්‍ය නම් ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණයක් කළ හැකියි. දින තුනක් පමණ ගත වූ පසු සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) කිරීමෙන් ඩෙංගු රෝගය හට ගෙන ඇත්දැයි තහවුරු කරගත හැකියි. දින පහක් පමණ ගතවී නම් ඩෙංගු ඇන්ටිබොඩි පරීක්ෂණ කළ හැකියි. ඩෙංගු රක්තපාත දක්වා වර්ධනය විම නම් එතරම් සුදුසු නැහැ.

අධික උණ ඇති දරුවකුට මුල් දිනය, දෙක තුළදී පැය 6 න් 6 ට පැරසිටමෝල් මාත්‍රාව දරුවාගේ බරට සරිලන පරිදි දිය යුතුයි. ස්වභාවික දියර වර්ග පානයට දීම කළ හැකියි. මෙහිදී රතු, කළු වැනි පැහැයන්ට හුරු ආහාර හෝ පාන වර්ග දීමෙන් වැළකී සිටීම වැදගත්. මුත්‍රා පිට කරන වාර ගණන පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. වෛරස් උණක් වේවා, කවර උණ තත්ත්වයකදී වුව දියර වර්ග පානයට දීම, මුත්‍රා මැන බලා තිබීම ඒවා පොතක සටහන් කර ගැනීම, පසුව රෝහල් කරා යෑමේදී වුවත් වෛද්‍යවරයකුට පහසුවක් වේවි. වෛද්‍යවරයකුට පූර්ව නිගමන කරා ඒමට දියර දීම හා මුත්‍රා පිට කිරීම යන සටහන් වැදගත් වේවි. දින තුනකට වඩා උණ පැවතියහොත් නම් පෙරකී පරිදි වෛද්‍යවරයකතු කරා ගොස් Full Blood Count රුධිර පරීක්ෂාව කොට රුධිර පට්ටිකා (Platelets) බැස ඇද්ද යන්න තහවුරු කරගත යුතුයි. ඩෙංගු රෝගයේ දී දින 2, 3 සිට උදර හා උරකුහරයට දියර වර්ග එකතු වීම (Leaking) පැය 48 ක් වැනි කාලයකදී සිදුවිය හැකියි. මේ තත්ත්වය රෝහලකදී ඩෙංගු කළමනාකරණය කිරීම යටතේ සිදුවිය යුතුයි. උදර හා උර කුහර දියරවලින් පිරීමෙන් පසු දරුවා කම්පන තත්ත්වයක් දක්වා යා හැකියි. ඉන්පසු අභ්‍යන්තර රුධිර වහනයක් ද සිදුවිය හැකියි. එය ඩෙංගු රක්තපාත තත්ත්වයයි.

 

 

 

උපදෙස් -

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා

 

------------------

වැසි හා ගංවතුර හමුවේ තවත් රෝග රැසක් වැඩිවෙලා

 

අධික වැසි තත්ත්වයන්, ගංවතුර තත්ත්වයන් නිසා මදුරුවන් බෝවීමෙන් ඩෙංගු රෝගයත්, මැස්සන් බෝවීමෙන් පාචනය, අතීසාරය, උණසන්නිපාතයව වැනි තත්ත්වයනුත් නිසා මේ දිනවල දරුවන් අතර බහුලව පැතිර යන්නට පටන් අරන්.

මේ නිසා උණු කර නිවාගත් වතුර පමණක් ම දරුවන්ට දිය යුතුයි. කෑම බීම, මැස්සන් වහන්නට නොදී ආරක්ෂා කිරීම වැදගත්.

දරුවාට බඩ රිදීම්, බඩ බුරුලට යෑම්, වමනය ආදී තත්ත්ව ඇත්නම් දරුවා විජලනයට පත්වීම වළකාලීමට හැකි තරම් දියර ආහාර දිය යුතුයි. විජලන තත්ත්වයන් උත්සන්න වීමෙන් ද දරුවන් කම්පන තත්ත්වයන්ට ලක් වේවි.

ඩෙංගු වැලඳුණ දරුවන්ට කෝවිඩ් තත්ත්වයත් ඒ අතරේ පාචනය, අතීසාරය, උනසන්නිපාතය වැනි රෝගත් එකවර වැලඳිය හැකි නිසා දරුවන් හැකි උපරිම අන්දමින් ආරක්ෂා කරගත යුතු කාලයයි මේ. මාපියන් වන ඔබ සංචරණ සීමා ඇති හෝ නැති වුවත් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්න. මන්ද ඔබ කෝවිඩ් රෝගියකු වුවහොත් දරුවන් ද ඒ අතරට එක්වේවි. අවට ප්‍රදේශය පිරිසුදුව තබා නොගතහොත් වතුර රැඳෙන තැන් විනාශ නොකළහොත් ඩෙංගු මාරයා දරුවන් බිලිගන්නට බලා සිටීවි. වතුරට උණුකොට හෝ ෆිල්ටර් කළ වතුර පානය නොකළහොත්, අපිරිසුදු කෑම අනුභව කළහොත් පාචනය, අතීසාරය, උණසන්නිපාතය වැනි රෝග කාරකයන් ද දරුවන්ගේ සිරුර වෙළා ගන්නට බලා සිටීවි.

දරුවන්ගේ ආරක්ෂාව මාපියන්වන ඔබ සතුය. ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. මල් වැනි දරුවන් රෝගවලට බිලි නොදෙන්න.