සියලු ප්‍රභේදයන්ට වඩා භයානක ලැම්ඩා වලට එන්නට නොෙදමු

ජූලි 21, 2021

වයිරසයක් මොන තරම් භයානකද? ඉතිහාසය අපට ඕනෑතරම් වයිරස් ගැන සාක්ෂි සපයා දී තිබුණත් මෑත දී තරම් එහි භයානකකම කාටවත් වැටහිලා තිබුණේ නැහැ. නව කොරෝනා වයිරසය ලෙසින් මුලදී කවුරුත් සරලව හැඳින්වුවත් කාලයෙන් කාලයට එහි මුහුණු වර වෙනස් වෙමින් දරුණු වෙන්න ගත්තා.

ඒ සමඟම විවිධ නම්වලින් වෛරසය හඳුන්වන්න ගත්තා. ඩෙල්ටා, ඩෙල්ටා ප්ලස් ළඟට තවත් නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් හමුවෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම කෝවිඩ් - 19 ප්‍රභේදය ලැම්ඩා ලෙසින් නම්කර තිබෙනවා.

මේ වන විටත් ඩෙල්ටා වයිරසය අපේ රට තුළින්ද සොයාගෙන තිබෙන නිසා ලැම්ඩා අවදානම අපේ රටටත් තියෙනවා.

ඩෙල්ටාවලටත් වඩා ලැම්ඩා වයිරසය භයානක එය වේගයෙන් බෝවෙන නිසයි. එලෙසම ප්‍රතිදේහවලට බලපෑම් කරන නිසයි. රෝගයට එරෙහිව ප්‍රතිදේහ සෑදී තිබුණ ද ලැම්ඩා මඟින් මට්ටු කරන්න බැහැ. එනම් කෝවිඩ් එන්නත්වල බලය බිඳ දමනවා. පේරු දකුණු අමෙරිකානු රටවල්වලින් හඳුනාගත් මේ වයිරසය දැන් බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල්වලටත් පැතිරිලා. ජූනි 14 වයිරසය මුලින් හඳුනා ගත්තත් 2020 අගෝස්තුවේ සිටම ලැම්ඩා වෛරසය පැවත තිබෙනවා.

කෝවිඩ් මරණ අනුපාතය වැඩිම රට ලෙසින් පේරු රාජ්‍ය වාර්තා වන්නේ ලැම්ඩා වයිරසය නිසයි. එරට ලක්ෂයකට හය සියයක් මරණයට පත් වෙනවා. වයිරසයක් දරුණු වෙන්න දරුණු වෙන්න සංකූලතා වැඩි වෙනවා. රෝගය උත්සන්න වී මිය යාමට ඇති ඉඩත් ඉහළ යනවා. ලැම්ඩා අපට පණිවුඩ ගණනාවක් ගෙන එනවා. එන්නත් මාත්‍රා එකක් ගත්තත් දෙකම ගත්තත් මුහුණු ආවරණ පැලඳීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, සබන් ගා දෑත් සේදීම වැදගත්ය. අත්‍යාවශ්‍ය කටයුත්තක් නොමැති නම් නිවෙසින් බැහැරට නොයා යුතුය.

කෝවිඩ් - 19 ඇති කරන වෛරසය වෙනස් වෙනවා වාගේම ඇතිවන අතුරු ආබාධ ද වෙනස් වෙනවා. කළු දිලීර රෝගය මෑතකදී ඇතිවූ භයානක සංකූලතාවක්. ඒ භයානක සංකුලතාව එලෙසම තිබියදී රෝගය සුව වූවන්ට ඇතිවන තවත් අතුරු ආබාධයක් ගැන අසන්නට ලැබෙනවා. ඒ අස්ථි පටක මියයාමේ අවදානමයි. ඉන්දියාවෙන් එවන් රෝගීන් ගැන වාර්තා වීමට පටන් අරන්.

අස්ථියක් මරණයට පත්වීම කියන්නේ කුමක්ද?

අස්ථිවලට නිසි පමණ රුධිරය තාවකාලිකව හෝ ස්ථිරව නො ලැබී අස්ථි මියයාම ඇවස්කියුලර් නෙක්‍රොසිස් ලෙස හඳුන්වනවා. මෙය ඔස්ටියෝනෙක්‍රොසිස් කියා හඳුන්වන්නේ අස්ථිවල කුඩා පිපිරීම් ඇති වීමටත් මෙය හේතුවන නිසයි. කැඩුණු අස්ථි හෝ විසන්ධි වූ හෝ අස්ථි නිසා අස්ථි පද්ධතියට රුධිරය සැපයීමට බාධා සිදු වෙනවා. හදවතට රුධිරය සැපයීම අඩු වුණොත් හෘදයාබාධයක් සෑදෙනවා මෙන් මොළයට සැපයෙන රුධිරය අඩාල වුණොත් ආඝාතය සෑදෙනවා. අස්ථිවලටත් සිදුවන්නේ මේ දෙයමයි.

රුධිරය සැපයීම අඩාල වීම නිසා අස්ථි සන්ධිවලට එය බලපා ස්ථිරවම ආබාධිත තත්ත්වයක් ඇති වන්න පුළුවන්. ඕනෑම කෙනකු මේ තත්ත්වයට ගොදුරු විය හැකි නමුත් වඩාත් සුලබ වයස අවුරුදු 30 - 50 ත් අතර අය අතරයි. කෝවිඩ් - 19 මේ තත්ත්වයට බලපාන්නේ කෙසේද? රෝගයට ලබා දෙන ස්ටීරොයිඩ කාණ්ඩයේ ඖෂධ ප්‍රධානම හේතුවක්.

වයිරසයයෙන් ඇතිවන ප්‍රදාහයන්ට Prednisone ලබා දෙන අතර එයින් රුධිරයේ ලිපිඩ මට්ටම වැඩිවී සිරුරේ රුධිරය ගලා යාම අඩු වෙයි. ස්ටීරොයිඩ් භාවිතයට අමතරව අධික මත් වතුර පානයත් අස්ථි පටක මිය යාමට හේතු වෙනවා.

අස්ථි පටක මියයාමේදී ඇතිවන රෝග ලකුණු මොනවාද ?

කෝවඩ් - 19 සුවවී මාසයකට දෙකකට පසු රෝග ලකුණු මතුවන්නට ගන්නවා. එහෙත් බහුතරයකට මුල් අවස්‍ථාවලදී රෝග ලකුණු පෙන්නුම් කෙරෙන්නේ නැහැ. උකුළේ හෝ කලවා අස්ථිවලට රෝගය බලපෑ විට ඉතා වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. උකුළ, කලවා පමණක් නොව උරහිස්, දණහිස්, දෑත්,දෙපාවල අස්ථිවලට ද රෝගය බලපෑමට හැකියි.

මීට ප්‍රතිකාර තිබෙනවා ද?

කල් ඇතිව රෝගය හඳුනා ගත් තරමට ප්‍රතිකාර කිරීම පහසු වෙනවා.

කෝවිඩ් - 19 න් සුවය ලැබූ අයට උකුළේ හෝ කලවා වේදනාවක් ඇත්නම් ඉක්මනින්ම MRI,එක්ස් කිරණ පරීක්ෂණයක් සිදු කර ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ ඒ නිසයි.

කල් ඇතිව හඳුනා ගත්තොත් ඖෂධ මඟින් ප්‍රතිකාර කළ හැකියි.

 

 

 

උපදෙස්

හින්දුජා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සංජේ අගර්වාලා