ඩෙල්ටා හැදුනොත් දැන ගන්නේ කොහොමද?

අගෝස්තු 25, 2021

අපේ කාලයේ පවුලක සිටින්නේ බොහෝවිට අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු සාමාජිකයන් ගණනක්. සුළු සාමාජිකයන් ගණනක් සිටින පවුලක එක් සාමාජිකයකු හෝ හිටි හැටියේ අහිමි වුණොත්... ඒ අඩුව කිසිදා පුරවාලන්න නම් බැහැ. කෝවිඩ් - 19 ජීවිත උදුරා ගන්නේ හොරු අරන් යනවා වගෙයි.

අලුත්වන නව කොරෝනා වෛරස් ප්‍රභේද තත්ත්වය වඩාත් භයානක කරලා. ඒ නිසා පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බේරා ගැනීමට නම් අප නිරන්තරයෙන්ම ‍සුව විරුවන්ගේ උපදෙස් පිළිපදිමින් රෝගී - නිරෝගීභාවය ගැන තක්සේරුවක් කළ යුතුයි.

ලංකාවේ මේ දිනවල වැඩිපුරම කතා වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ගැනයි. ලැම්ඩා, එප්සිලොන් වෛරස් ප්‍රභේද අනතුරුත් අත ළඟටම ඇවිත්. මේ සියලු ප්‍රභේදයන්ගේ අවදානම මැද තමන්ට ඩෙල්ටා වැලඳී ඇත්දැයි කියා විපරම් කර බැලීම මොන තරම් වැදගත්ද?

මේ ලක්ෂණ වෛද්‍ය උපදෙස් පැතිය යුතු බවට ඔබේ සිරුර ඔබ වෙත දල්වන රතු එළි කිහිපයක්.

වෙනදා පියවර 10 - 12 ක් ඇවිදීමේදී නො දැනෙන හතියක් දැනෙනවා නම්

දුරකථනයෙන් කෙරෙන කතා බහකදී පවා එක දිගට කතා කළ නො හැකි තරමට හතියක් දැනෙනවා නම්

දත් මැදීම, මුව සේදීම වැනි සුපුරුදු දෛනික කටයුතු කිරීමේදී හතියක් දැනෙනවා නම්

පුටුවක අට වරක් දස වරක් වාඩිවී නැඟිටින විට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනෙනවා නම්

අක 1 සිට 20 දක්වා එක දිගට හුස්ම ගැනීමේ අපහසුතාවක් නැතිව ගණන් කළ නො හැකි නම්

පඩි පෙළක පඩි 20 ක් හති නැතිව නැඟීමට නො හැකි නම් ( වෙනදා මෙන් වෙහෙසකින් තොරව පඩි නැඟීමට නො හැකි නම් )

එක හුස්මට බැලුනයක් පිම්බීමට නො හැකි නම්

කෝවිඩ් - 19 සඳහා පරීක්ෂාවකට ලක් වන්න. හුස්ම ගැනීමට අපහසු වන්නේ වෙනත් ස්වසන ගැටලුවක් නිසා වීමටත් පුළුවන්. එහෙත් කෝවිඩ් ද නැත් ද කියා සැකහැර දැන ගැනීම වැදගත්.

 

*දිගු කාලීන කෝවිඩ් ලකුණු ඇති වෙනවාදැයි බැලීමට සරල රුධිර පරීක්ෂණයක්

 

කෝවිඩ් - 19 එලවා එලවා පහර දෙන විසඝෝර සර්පයෙක් වගේ. රෝගය සුව වුණත් සමහරුන්ට මාස ගණනක් ඇතැම් විට වසරකට වැඩි කාලයක් දිවි ගෙවීමට සිදුවන්නේ වේදනාකාරී රෝග ලකුණුත් සමඟයි. රෝගියකුට තමන්ටත් ඒ ඉරණමට මුහුණ පාන්නට සිදු වනවාදැයි කියා ඉතා සරල රුධිර පරීක්ෂණයකින් දැන ගැනීමට පුළුවන්. සයිටොකයින්ස් නම් කුඩා ප්‍රෝටීන අණුව දිගු කාලීන කෝවිඩ් ලකුණු ඇතිවනවාදැයි කියා බැලීමට යොදා ගන්නා මිනුම් දණ්ඩයි. සයිටොකයින්ස් නම් ප්‍රෝටීනය ආසාදනයක් ඇතිවූ ව්ට සිරුරින් නිපදවෙනවා. ආසාදනයකින් මාස ගණනකට පසුවත් මේ ප්‍රෝටීනය දක්නට ලැබෙනවා. කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයන් ආසාදනයෙන් පසු දක්නට ලැබෙන සයිටොකයින්ස් හා දිගු කාලීන කෝවිඩ් අතර සබඳතාවක් ඇතැයි විශ්වාස කරනවා. කල් ඇතිව දිගු කාලීන කෝවිඩ් ලකුණු ඇති වනවාදැයි කියා දැන ගැනීමෙන් වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම පහසු වෙනවා.

 

අන්තර්ජාලයෙනි

 

 

--------------------------------------------------------

 එන්නත නිසා ගබ්සා වෙන්නෙත් නෑ නිසරු වෙන්නෙත් නෑ

ගැබිනි මවක් තීරණ ගන්නේ දරුවා ගැන සිතා ය. මෑත කාලයේ මවුවරුන් මුහුණ දුන් දැවැන්තම අභියෝගය කෝවිඩ් එන්නතයි.

එහෙත් දැන් අම්මලා දෙවරක් නො සිතා කෝවිඩ් එන්නත ලබා ගනිමින් සිටියි. ඒ එන්නත් ගත් මවුවරුන්ගෙන් මළ දරුවන් බිහිවීමත්, ගබ්සා වීමත් අඩු බව මේ දක්වා කළ අධ්‍යයන මඟින් හෙළිවී ඇති බැවිනි. වැඩිපුර කෝවිඩ් නිසා රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවී ඇත්තේ එන්නත ලබා නො ගත් මවුවරුන්ටය. බ්‍රිතාන්‍යයේ මේ තත්ත්වය ලෝකයටත් දැන් පොදු ය. ෆයිසර් හෝ මොඩර්නා එන්නත් එරට මවුවරුන්ට ලබා දෙනවා.

එන්නත ලබා ගැනීමෙන් පසු ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, අනපේක්ෂිත රුධිර වහනය වැනි ගැටලුවලට සමහර කාන්තාවන් මුහුණ දී තිබෙනවා.

සාමාන්‍ය කෙනකු මෙන්ම ගැබිනි මාතාවන් ද පහසුවෙන් කොරෝනා ආසාදිතයන් වීමට පුළුවන්. ගැබිනි වියේ අවසන් මාස තුනේදී ආසාදනය වීම හෝ නිදන්ගත සෞඛ්‍ය ගැටලුවක් තිබීම මඟින් තත්ත්වය වඩාත් දරුණු වෙනවා. මේ වන විට බ්‍රිතාන්‍යයේ ගැබැන් මවුවරුන් 55, 000 කට වඩා එන්නත් කර තිබෙනවා.

දරුවකු පිළිසිඳ ගෙන සිටියදී කෝවිඩ් - 19 ආසාදිත වීම නිසා නියමිත මාස ගණනට පෙර දරුවා බිහි කිරීමේ ඉඩ වැඩි වෙනවා. ආසාදිත මවුවරුන් වැඩි දෙනෙක් සති 37 ට පෙර දරුවන් බිහිකර ඇති බව අමෙරිකාවේ කළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. නියමිත මාස ගණනට පෙර දරුවා බිහි වීමෙන් දරුවාට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අයහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වෙනවා. දරුවාගේ සිරුරේ අවයව අංග සම්පූර්ණව නො වැඩීම, හෘද - මොළය ආශ්‍රිත ගැටලු, හුස්ම ගැනීමේ අපහසුතා ඒ අතරින් ප්‍රධානයි. දරුවන් වැඩිහිටියන් වන විට ඇදුම වැනි වෙනත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිවෙනවා.