කොරෝනාවට අභියෝග කළ හැකි විස්මිත ඔසු

සැප්තැම්බර් 8, 2021

 

*කොත්තමල්ලි ගෙන කබලේ බැද තම්බා පානය කරන්න
 

*බෙලිකොළ හොඳින් සෝදා මැටි මුට්ටියක තම්බා පානය කරන්න
 

*ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සුව ධරණී ප්‍රබල ඔසුවක්

 

කෝවිඩ් 19 වසංගතය මේ වනවිට මුළු ලෝකයම වෙලාගෙන අවසන්. මේ හේතුව නිසා විවිධ ප්‍රදේශවලට වගේම ඇතැම් විට මුළු රටටමද වරින්වර සංචරණ සීමාවන් පැනවූ අතර මේ වන විටද මුළු ලංකාවටම නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබේ.

එනිසා ඔබ අප සැවොම ඊට අනුගතව කාලය ගතකළයුතු අතර සෞඛ්‍ය නීතීන් එලෙසම ක්‍රියාත්මක කළ යුතුයි.

මේ කාලයේ ඇදිරිනීතිය පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නොවෙයි. නමුත් ඔවුන්ද එය සිදුකරනුයේ දෙගිඩියාවෙනි. කොරෝනා වයිරසය විවිධ ප්‍රභේදයන් හරහා මිනිස් ජීවත සමඟ සටන්කරන මේ මොහොතේ සෑම සිතකම ඇත්තේ තමාව කොයි මොහොතේ මේ වයිරසයට ගොදුරු කරගනීදැයි යන බියයි. මේ සඳහා එකම විසඳුම එන්නත ලබාදීම බව ලොව අන් රටවල් සේම අප රටද පිළිගෙන ඇත. නමුත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් අපේ රට ඈත අතීතයේ සිටම හෙළවෙදකමට දස්කම් දැක්වූ රටකි. තාක්ෂණය අතින් දියුණු යැයි පවසන රටවලට තවමත් කොරෝනා වයිරසයට ඖෂධ සොයා ගැනීමට නොහැකි වුවත් අපේ රටෙහි සිටින පාරම්පරික වෙදැදුරන්

එම පාරම්පරික වෛද්‍ය වට්ටෝරු ඇතුළත් කොට කොරෝනා සඳහා විවිධ ඔසුපැන් නිෂ්පාදනය කිරීම මේ වනවිටත් සිදුකරයි.

ප්‍රතිශක්තිජනක ඖෂධීය පානයක් වන සුවධරණී ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් ඔබට හඳුන්වා දී ඇත්තේ ප්‍රතිශක්ති වර්ධක පානයක් ලෙසයි. මෙහි කොත්තමල්ලි, වෙනිවැල් ගැට, හීන්අරත්ත, සහ වියළි ඉඟුරු අන්තර් ගතවෙයි. මෙය ඔබට වෙළෙඳ පොළෙන් ලබා ගතහැකි අතර ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මෙය ප්‍රබල ඔසුවක් ලෙසද හඳුන්වන්නට පුළුවන. ඊට අමතරව කොරෝනා රෝගය වැළලඳුණු රෝගීන්ට සහ අනෙක් අයටත් ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා පානය කළහැකි ඖෂධ වර්ග කීපයක් පිළිබඳ ආයුර්වේද කොමසාරිස්තුමා පලකළ අදහස් කීපයක් මේ.

දැනට අසනීපව සිටින රෝගීන්ට වගේම අන් අයටත් මේ කාලයේ වැඩි මුදලක් ගෙවා ඖෂධ ලබා ගැනීම අපහසු කාර්යයකි. ඒ නිසා අප ඒ අය වෙනුවෙන් ඉතා පහසුවෙන් සපයා ගතහැකි ඉඟුරු කොත්තමල්ලි පානය පළමුවෙන්ම හඳුන්වා දෙන්නට කැමැතියි. එහිදී කොත්තමල්ලි කොටස් හතරක් සහ ඉඟුරු කොටස් එකක් ගන්න. මේ කොත්තමල්ලි සහ ඉඟුරු කබලේ බැද කුඩුකර ගතයුතුය. මේ සඳහා ඉඟුරු භාවිත කිරීමේදී වියළි ඉඟුරු භාවිත කරන්නේ නම් වඩාත් සුදුසුය. ඔබට මේ මොහොතේ වියළි ඉඟුරු සොයා ගැනීමට අපහසු නම් අමු ඉඟුරු කොටසක් ගෙන සිහින්ව කපා කබලේ බැද කුඩුකර ගන්න. කොත්තමල්ලි සහ ඉඟුරු හතරට එක අනුපාතයට කුඩුකරගත් පසු එයට වතුර කෝප්ප දෙකක් දමා එකකට හිඳුවා එය උදේ සවස පානය කරන්න. අවශ්‍ය නම් සීනි හෝ මී පැණි අනුපාන ලෙස භාවිත කළ හැකිය. ඔබට මේ මොහොතේ ඉඟුරු සොයා ගැනීමට අපහසු නම් කොත්තමල්ලි ගෙන කබලේ බැද තම්බා පානය කරන්න. එමෙන්ම ඔබේ ගෙදර බෙලි ගහක් තිබේනම් ඉන් බෙලිකොළ ටිකක් කඩා හොඳින් සෝදා මැටි මුට්ටියකට දමා තම්බා පානය කරන්න. මෙයද ප්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය ඖෂධයකි.

තවද මේ සඳහා සූදුරු ස්වල්පයක් ගෙන කබලේ බැද කුඩුකර තම්බා පානය කළ හැකිය. කොරෝනා ආසාදිතයින්ට මෙන්ම ඔක්කාරය සහ අජීර්ණ ගති ඇති අයටත් සූදුරු වඩාත් සුදුසුය. ඒ අතර ඔබ නිතරම උණු වතුර පානය කිරීමද අවශ්‍යය. කොරෝනා ආසාදිතයින් විනාඩි 20කට වරක්වත් උණුවතුර කෝප්පයක් පානය කරන්න. ඊට අමතරව තේ වතුර පානය කිරීමද සුදුසුය. මේ කොරෝනා ආසාදිතයකුට මෙන්ම අන් අයටද පහසුවෙන් සපයා ගතහැකි ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙන ප්‍රතිකර්ම කීපයකි. මීට අමතරව මදුරුතලා කොළ, යකිනාරං කොළ, පොල්පලා, එළබටු ළපටි කොළ, කරපිංචා, හීන් බෝවිටියා කොළ ඇතුළත් කොළ කැඳ පානය කිරීමද වඩාත් සුදුසු අතර තැම්බුම් හොද්ද, කායම් හොද්ද, මිරිස් හොද්ද මෙවැනි දියර පානද සකසා ගැනීමට හැකිනම් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට පුළුවන. ඊට අමතරව ආයුර්වේද දෙපාර්තමේන්තුව සුවධරණී ප්‍රජා සෞඛ්‍ය සේවාව නමින් මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකරයි. ඒ සඳහා ඔවුන් දුරකථන අංක 28ක් හඳුන්වා දී ඇති අතර එය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවෙන් දැකගත හැකිය.

එමෙන්ම ඔබ මේ වනවිටත් කොරෝනා ආසාදිතයකු නම්කිසි විටෙකත් බියක් ඇතිකරගත යුතු නැහැ. මේ සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ මානසික සුවතාවය ඇතිකරගැනීමයි. නිතරම සැහැල්ලු ආහාර මෙන්ම සමබල ආහාර ගැනීමත් වැදගත්. ඔබට හැකිනම් මේ දිනවල රූපවාහිනීය නැරඹීම, ගුවන් විදුලිය ඇසීම පමණක් නොව ඔබේ ජංගම දුරකථනද ඈත්කර තබන්න. දිනෙන් දින වැඩිවෙන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය මරණ අනුපාත අසන විට ඔබේ සිතටද බිය උපදවන නිසා හැකි තරම් මාධ්‍යයෙන් ඈත්ව සිටින්නට උත්සාහ ගන්න. දිනකට පැය අටක්වත් නිදා ගැනීමද මෙම රෝගය සඳහා අවශ්‍යමය. එසේම ප්‍රතිශක්තිය වර්ධනය වන ආහාර මොනවාද යන්න සෙවීම් නොකොට ඔබට ආහාරයට ගතහැකි ආහාර ගන්න. එහිදී දිරවීමට පහසු ආහාර ගැනීම වැදගත්‍ වේ. මේ කාලයේ අධික උෂ්ණ ආහාර සහ අධික ශීතල ආහාර ගැනීම අවම කරනවානම් වඩාත් සුදුසුය. කොළ වර්ග පලාවර්ග එළවළු වර්ග හැකිතරම් ආහාරයට එකතුකර ගන්න. ඒ තුළින්ද ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට පුළුවන. මෙහිදී ප්‍රමුඛ වන්නේ මානසික සුවතාවය නිසා හැකිතරම් මනස නිරවුල් වන ක්‍රියා කාරකම් වල යෙදෙන්න. ඒ සඳහා ඔබට බන භාවනා කරන්න. සිංදු අහන්න වගේම මනස සුවපත් කරන පොත්පත් කියවීම ද සිදුකළ හැකිය. මෙහිදී අංක එක විය යුත්තේ බිය නොවී සිටීමයි. ඔබ කොරෝනා ආසාදිතයකු වුවත් මේ අයුරින් ජීවිතය හැඩගස්වා ගැනීමට හැකිනම් කොරෝනාවට කිසිසේත් බියවිය යුතු නැහැ.

 

අදහස් දැක්වීම - ආයුර්වේද කොමසාරිස් ආචාර්ය වෛද්‍ය

ධම්මික අබේගුණවර්ධන