මේ දිනවල ඇල්වතුරට වඩාඋණුවතුර හොඳයි කියන්නේ ඇත්තක් ද?

උණු ජලය ඇල් ජලය කියලා නෑ දිනකට සරිලන වතුර ප්‍රමාණය බොන්න
සැප්තැම්බර් 22, 2021

 

කොරෝනා වයිරසය නිකන් වතුරට විනාශ වෙන්නෙ නෑ. උණුවතුරමයි බොන්න ඕනෙ. නාන්න ඇඟ හෝදන්න වුණත් උණුවතුර මිසක් සීතල වතුර නම් ළංකර ගන්නවත් නරකයි. කොරෝනා රෝගයත් සමඟින් මේ වගේ නොයෙකුත් කටකතා පැතිරී යනවා.

කෑම බීමවලට වුණත් එහෙමයි. කොහොම නමුත් කොයි කවුරුත් තමන්ගෙ ජීවිතයට ආදරෙයි. මොන දේ කරල වුණත් කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න තමයි බලන්නෙ. ඒ හින්දමයි කවුරු කවුරුත් කියන දේවල් අත්හදා බැලීම සිදුකරනුයේ.

ඇත්තටම කොරෝනා වයිරසය නිකන් වතුරට විනාශ වෙන්නෙ නැහැ. බලන්නකො, වතුරට තෙල් මිශ්‍ර කළාම තෙල් පාවෙනවා. සබන් දියකර එකතු කළහොත් ඉතා ඉක්මනින් මේ වතුර සහ තෙල් එකට මිශ්‍ර වෙනවා. සබන්වල ඇති අනු කොටස් දෙකක් තියෙනවා. එක් කොටසක් වතුරට ආකර්ෂණය කරනවා. අනෙක් කොටස තෙල්වලට ආකර්ෂණය කරනවා. මෙන්න මේ විද්‍යාත්මක පදනම මත තමයි තෙල් සහ වතුරවලට සබන් එකතු වූ සැණින් මෙය වතුරේ දියවෙන්න පටන් ගන්නේ. මේ විද්‍යාත්මක සාධකය මත තමයි කොරෝනා වයිරසය විනාශ කරන්න වතුර සමඟ සබන් භාවිත කරන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ.

අප උණු ජලය පානය කිරීම තුළත් විවිධ සෞඛ්‍යමය වාසි බොහොයි. ඇත්තෙන්ම වතුර කියන්නේ මවුකුසේ සිටම අපට බොහොම සමීප අත්‍යවශ්‍යම දෙයක්. අපි මේ ලෝකයට බිහිවීමට පෙර අපේ කළලය අම්මාගේ කුස තුළ වර්ධනය වන්නේ වතුර බෑගයකයි. කන්න නැතත් වතුර පොදක් නැතිව ඉන්න අපහසු වන්නේ එනිසයි. වෛද්‍ය නිර්දේශ අනුව වතුර වීදුරු 8ක් දිනකට පානය කළ යුතු වෙනවා.

ඔයාලා බොන ඇල් ජලය වෙනුවට උදෑසන අවදි වූ සැණින් උණුවතුර වීදුරුවකට දෙහි බිංදු කීපයක් එකතුකර ගන්න. ඉන් ලැබෙන ප්‍රතිඵල ගණනාවකි.

 

01. ශරීරයේ ඇති මේද තට්ටුව අඩු කිරීමක් ඉන් සිදු වෙනවා.

 

02. උගුරේ සහ නාසයේ සිරවීම ඉවත් කිරීමට හැකි වෙයි. හෙම්බිරිස්සාව කියන්නේ අපි කාටත් එපා වූ ලෙඩක්. නාසය සහ උගුර කැසීම්වලට උණුවතුර පානය කිරීම ඉතා ගුණයි.

 

03. ඔසප් වේදනාව අඩුකර ගැනීමටත් උණු වතුර ප්‍රයෝජවත්. උදරයේ ඇති මාංශපේශීන්වලට සහනය ඇති කිරීමේ බලය උණු වතුර සතුයි.

 

04. ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමේ මහඟු ගුණයක් උණු වතුරට තිබෙනවා. උණු වතුර පානය කිරීමෙන් අධික දහදිය දැමීම සිදු වේ. දහදිය හරහා ශරීරයේ ඇති විෂ පිටවීමක් සිදුවේ.

 

05. අකලට වයස්ගතවීමත් නතර කරන්න පුළුවන් උණු වතුරවලට. වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙන්නේ ඇතැම් විට ඔබේ ආහාර රටාවෙනි. ආහාරයේ ඇති රස කාරක හේතුවත් ඉන් එකක්. මේ රසකාරකවල ඇති විෂ සංඝටක ඉවත් කරන්නටත් සම ප්‍රබෝධවත් කරන්නටත් උණු ජලයට හැකියි.

 

06. ශරීරයේ ඇතුළත පිරිසුදු කිරීමේ හැකියාව උණු වතුරට ඇති නිසා කුරුලෑ නැති කිරීමේ හැකියාව ද පවතී.

 

07.පෘෂ්ටිමත් කොණ්ඩයක් වගේම දිගු වරලසක්, හිසකෙස් වැඩීම වේගවත් කිරීමටත් උණුවතුරට හැකියි.

 

 

08. හිස් කබළේ වියළි බව නැති කිරීමට හිස්හොරි ඇතිවීම වතාලීමට උණු ජලය පානය කිරීම වටී.

 

09. සිරුරේ ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුරවලට පුළුවන්.

 

10. බඩවැල් තුළ ඇති මේදය දියකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරන්නට ද සමත්.

 

11. බඩවැල් තුළ ඇති ආහාර ඉවත්කර මලබද්ධය වැනි සංකූලතා අඩුකරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරයි.

 

මේ වගේ වාසි රැසක් උණු ජලය පානය කිරීමෙන් අත්විඳින්නට හැකියි. නමුත් කොරෝනා වයිරසය වැළඳීම වැළැක්වීමට හෝ වැළඳුන පසු අනිවාර්යයෙන් උණු ජලය පමණක් භාවිත සුදුසු යැයි කීම නම් මිථ්‍යාවකි.

නියුමෝනියාව, පපුවේ සෙම, හතිය, කැස්ස මේ රෝගයන්ගෙන් වැළැකීමට ඇල් ජලය ස්නානය කරන්නට එපා, පපුව තෙමන්නට එපා, පිට තෙමන්නට එපා කියන මතය ලංකාවේ වැඩිහිටි සංස්කෘතියෙන් කටින් කට පැතිරී යන්නක් පමණි. කිසිසේත්ම එහි විද්‍යානුකූල නිරවද්‍යතාවයක් නම් නැහැ.

ඔබට පහසු ඔබට හැකි උණු ජලය පානය කිරීමටද, ඇල් ජලය පානය කිරීමටද, නැතිනම් සිසිල් ජලය ද යන්න ඔබ තීරණය කරන්න. සිදුවිය යුත්තේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය නිවැරැදිව ගැනීම පමණි.

කොරෝනා රෝගය හේතුවෙන් සමාජයේ විවිධ ඖෂධ වට්ටෝරු, ආහාර වට්ටෝරු, පානවර්ග ප්‍රචලිත වී තිබේ. එහෙත් හිතුමතේ ඒ දේවල් භාවිතයට ගැනීමෙන් සුව වෙනවා වෙනුවට නැති ලෙඩ ඇති වන්නට පුළුවන්. මේ නිසා වෛද්‍ය නිර්දේශ මත සහ නිවැරැදි අවබෝධයකින් ඒවා භාවිතයට ඔබ බුද්ධිමත් වන්න.

උපදෙස්

කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය

උපුල් දිසානායක