පොල් මිල බස්සන කුස්සියේ මන්තරේ ඔබත් දන්නවා ද?

පරිභෝජනයට වඩා නාස්තිය වැඩියි
ඔක්තෝබර් 21, 2020

පොල් මිල ඉහළ යන විට එය තදින්ම දැනෙන්නේ ගෘහණියන්ටය. පසුගිය සති කිහිපය පුරාම පොල් මිල අසීමිතව ඉහළ ගියේ නොසිතන ලෙසිනි. අසීමිතව ඉහළ යන පොල් මිල පාලනයට සැප්තැම්බර් 25 දා සිට පාරිභෝගික අධිකාරිය මඟින් චක්‍රලේඛයක් ඉදිරිපත් කර තිබුණි.

එම චක්‍ර ලේඛයට අනුව පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරිමේ ක්‍රමය. වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ යුත්තේ රුපියල් 70 ටය. අඟල් 13 - 12 අතර ගෙඩියක් රුපියල් 65 කි. අඟල් 12 අඩු ගෙඩියක් රුපියල් 60 කට අලෙවි කිරීමට නියම විය.

මේ අනුව කිසිම පොල් වෙළෙන්දකු පොල් අයිතිකරුවකු හෝ පොල් තොග වෙළෙඳසලක මේ මිල ගණන්වලට වඩා වැඩියෙන් අලෙවි කිරීම තහනම් විය. පාලන මිලට වැඩියෙන් පොල් අලෙවි කරන්නේ නම් ඒ ගැන දැනුම්දීමට ක්ෂණික අංකයක් ද හඳුන්වා දී තිබුණි. එම අංකයට ලැබුණු පැමිණිලි හා ඇමතුම් අනුව වැටලීම් සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබුණි. ඒ අනුව මෙලෙසින් වැඩි මිලට අලෙවි කළ 56 දෙනකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳහන් කළේ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතාය. මෙලෙස වැටලීම් කිරීමෙන් කොළඹ, ගම්පහ, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මාතර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, පොලොන්නරුව හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වෙන අයුරින් වැරැදිකරුවන් සොයා ගැනීමට හැකි විය.

ලංකාවේ දිනකට පරිභෝජනය කරන පොල් ප්‍රමාණය අති විශාලය. පොල් ගෙඩියක් රුපියල් 100 දක්වා ඉහළ ගියේ පාරිභෝගිකයන් දැඩි අපහසුවට පත් කරමිනි. එසේම පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තකරුවන්ට ද එය විශාල ගැටලුවක් විය. පසුගිය වසරේ රු. 18 කට අලෙවි වූ පොල් ගෙඩියක් මේ වසරේ රු. 70 - 80 දක්වා ඉහළ ගියේ කෙලෙසද? අප මේ ගැන විමසුවේ ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්. ජේ. එන්. රවීසිංහ මහතාගෙනි. ඔහු දැක්වූ තොරතුරු හා අදහස් පෙළ අපේ ගෘහණියන්ට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

“ලංකාවේ වසරකට පොල් අවශ්‍යතාව මිලියන තුන් දහසකට අධිකයි. සාමාන්‍යයෙන් අපේ රටේ හදන්නේ 2800 - 3000 ප්‍රමාණයේ විතරයි. නමුත් මේ ප්‍රමාණය මාස් පතා සමාන ආකාරයට ලැබෙන්නේ නැහැ. සමහර මාසවල පවතින කාලගුණික විපර්යාස නිසා මේ ප්‍රමාණය අඩු වැඩිවෙන්න පුළුවන්. නමුත් අපේ රටේ පොල් පරිභෝජනය කියන්නේ දෙවැනි බත වගේ පොල් නැතිව ආහාරයක් ගැන හිතන්න අමාරුයි. අපේ රටේ පොල් පලදාව කොයි තරම් අඩු වුණත් පරිභෝජනය අඩු වෙන්නේ නැහැ. ලෝකයේ පොල් ආශ්‍රිත කර්මාන්ත වැඩිවීම හේතුවෙන් අපේ රටේ පොල් ප්‍රමාණය අඩුවී මිල ඉහළ යාමක් තිබෙනවා.

පොල් පලදාව අඩුවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ වියළි කාලගුණය මාස තුනක් පුරා තදින් පැවතීමයි. වසර පුරා වර්ෂාව පැවතියත් ඉතා තදින් පෑයීම රටට බලපානවා.

එසේම පොල් මිල අඩුවීමත් මහා පරිමාණයේ පොල් වගාකරුවන්ට තදින්ම බලපානවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ පසුබෑමක් සිදුවන අතර මෙය ද ගැටලුවකි. මේ වන විට පොල් සංවර්ධන මණ්ඩලයේ මැදිහත්වීමෙන් පොල් හෙක්ටෙයාර් 1500 ක් පමණ ප්‍රමාණයක් වගා කර තිබෙන අතර ඉදිරියේදී එම පොල් වගාවන්ගේ පලදාව ද වෙළෙඳපොළට එකතු වෙන විට මේ මිල ඉහළ යෑම යම් තරමකට පාලනය කළ හැකිවෙතැයි අප විශ්වාස කරනවා.

අපේ රටේ ඉඩම්වල තිබෙන පොල්ගස්වල පලදාව මීට වඩා ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් ජනතාව ගේ නොදැනුවත්කමින් තමයි පලදාව අඩුවෙලා තිබෙන්නේ. පොල් මලක් පොල් ගසක පීදුණාට පසු පලදාව ලැබෙන්නේ මාස 11 පමණ ගත වෙනවා. ඊට කලින් මේ මල මවකගේ ගර්භණි කාලය වගේ ගසේ තිබෙනවා. මේ කාලය තුළ එම ගසට ලැබිය යුතු පෝෂ්‍ය පදාර්ථ, පොහොර ප්‍රමාණයක් ලැබුණොත් තමයි එයින් හොඳ ඵලදාවක් ලැබෙන්නේ. පොල් ගසකට සෑම මසකම මලක් හට ගන්න පොළොවේ තෙතමනය රඳා පවතින්න වර්ෂාව අවශ්‍යයි. පොල් ගස අපේ කප් රුක ලෙසයි අප කියන්නේ. පොල් ගෙඩියේ කොටස්, පොල් කොළ, අතු සියල්ල අපේ ප්‍රයෝජනයට ගන්නවා. පොල් ගසකට ලැබිය යුතු සියලු දේ ඒ ගසෙන් ඉවත් කරගෙන අපේ ප්‍රයෝජනයට ගත්තොත් එය පෝෂණය වෙන්නේ නැහැ. අපට අවශ්‍ය පෝෂණය ඇවිදලා අපි සොයා ගත්තාට ගහකට ලැබෙන පෝෂණය ඇවිදලා සොයා ගන්න බැහැ. ඒකට අප නිසි පොහොර ජලය ලබා දිය යුතුයි.

2020/10/20 තරුණි බලන්න.