ලාංකේය ආහාරයේ රස හා සුවඳ ලොව ඉදිරියේ තවරා ජයගත් පුංචි කෙල්ල

නොවැම්බර් 25, 2020

 

ජෝර්ජියා

 

උදේ පිපුණු මලක් වගේ සුන්දර සිනහවක් මුව රැඳුණූ ඇය ජෝර්ජියා. Junior Master Chef Australia  2020 ජයග්‍රහණය කළ හුරතල් කෙලි පොඩිත්තිය ඇයයි.

අවුරුදු 9 ත් 14 ත් අතර වයසේ දරුවන් 14 දෙනකු සහභාගී වූ  Junior Master Chef Australia  තරගාවලිය පැවැත් වූයේ තෙවැනි වරටයි. එය ඔස්ට්‍රේලියාවේ චැනල් 10 රූපවාහිනිය හරහා විකාශය වූ අතර අන්තර්ජාලයෙන් ලෝකවාසීන්ට නැරැඹීමේ අවස්ථාව ද උදාවිය. තරග වට රැසක් අවසානයේ මේ කිරුළේ හිමිකාරිය වීමට වාසනාව උදා වූයේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුංචි ජෝර්ජියාටයි. ඔස්ට්‍රේලියාවේ ඉපදුණු, අවුරුදු 11ක් වන ඇය උයන්න ඉගෙන ගෙන තියෙන්නේ තමන්ගේ අම්මාගෙන් නම් නෙමෙයි. මේ හුරුව ඇයට හිමිවී තිබෙන්නේ තමන්ගේ මවගේ මවගෙනි. එනම් ඇගේ ආච්චි අම්මාගෙනි.

ජෝක් සොන්ෆ්‍රිල්ලෝ, ඇන්ඩි ඇලන් සහ මෙලිසා ලියොන්ග් නම් ආහාර කලාවේ ප්‍රවීණයන් තිදෙනෙක් මෙහි විනිසුරුවන් ලෙස කටයතු කළ අතර අවසන් වටයේ තරගය විනිශ්චය කරන්න විනිසුරුවන් තිදෙනාට අමතරව තරගකරුවන්ගේ මවුවරුත් සහභාගී විණි.

මේ වෙලාවේ ජෝර්ජියා ගේ අම්මා නැතලීගෙන් සිය දියණිය සැකසූ අහාර ගැන විමසීමේ දී කියා සිටියේ "මේ මගේ අම්මාගේ කෑමවල රස. ආදරේ පෙන්නන්න අම්මා වගේම ජෝර්ජියා ත් රස කෑම හදලා පිළිගැන්වීමෙන් සතුටක් ලබනවා" කියලායි. පුංචි ජෝර්ජියා තමාගේ ශ්‍රී ලාංකික ආච්චි සහ සීයාට බෙහෙවින් සමීප බවත් මේ තිදෙනා එක් වී ආහාර සකසන බවත් මේ තරගාවලියේ දී ජෝර්ජියාගේ මුවින් සඳහන් විය. Junior Master Chef වැඩසටහන මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවාය.

ඒ වගේම මේ තරග වට පැවැත්වෙද්දී ජෝර්ජියා සඳහන් කළේ ඇයට අවුරුදු 3 ක් තරම් කුඩා වියේ ඉඳන් ඇගේ මවුපියන් මුළුතැන්ගෙයි වැඩවලට ඇයව සහභාගී කරගන්නා බවයි. මුලින්ම අවුරුදු 3 දී හදපු ඵජපචථඡතඥ ඥඨඨ , බධචඵබ වල සිටම අවසන් තරගයේ ප්‍රධාන අහාරයට සැකසූ කහ බත්, ඌරු මස් කරිය, කජු මාළුව, වම්බටු පැහි, පපඩම් සහ කි්‍යුකම්බර් රයිතා එක වෙනකන් ඇයව ඉදිරියට ගෙනෙන්නට තමන්ගේ ගෙදර මුළුතැන්ගෙයින් ලැබුණු දැනුම, උනන්දුව, ආදරය සහ කැපවීමේ තරම අපේ රටේ අම්මලාට වගේම දරුවන්ටත් කදිම ආදර්ශයක්.

"ටෝස්ටඩ් කොකනට් අයිස් ක්‍රීම් ස්ලයිස්" නම් අතුරුපස සකසන්නට ගිහින් වැරැදුණ ද උපායශීලීවෙමින් ඇය එයට 'ටොපිකල් මෙස්' ලෙස නමක් ද දමා පිළිගැන්වීය. මේ අතුරුපස ගැන විනිසුරු ඇන්ඩි පැවසුවේ, "එය මොන වගේද කියා මට ප්‍රශ්නයක් නැහැ, එය අතුරුපසක්.” යනුවෙනි.

ජෝර්ජියා සිය අතුරුපස සැකසීමේ දී ඇති වූ ගැටලුව මැද "මට මෙය කළ නොහැකියි." කියමින් මඳක් සසල වී කඳුළු සළන්නට විය. එය විනිසුරුවන්ගේ මෙන්ම නරඹන්නන්ගේ දෙනෙතට ද කඳුළු රැගෙන ආ අවස්ථාවක් විය. කෙසේ වෙතත් උඩු මහලේ සිට තරගය නරඹමින් සිටි ජෝර්ජියාගේ මව "ඔයට එය පුළුවන්" යැයි කියමින් දිරිමත් කළ අතර ජෝර්ජියා කඳුළු සළද්දී මව ඇය අසලට විත් ඇයව වැලඳගෙන දුන් හාදුවෙන් හා සිය මවගේ දිරිමත් කිරීමෙන් නැවතත් තරගයට අවතීර්ණ වූයේ සියල්ලන්ම පුදුම කරමිනි.

 

තොරතුරු හා පින්තූර ලබාගැනීම  https:// 10play.com.au/junior-masterchef- australia   වෙතිනි.

 

2020/11/25 තරුණි පුවත්පත බලන්න