මොන්ගෝලියන් රයිස්

මාර්තු 6, 2019

ඔබේ සාදය රස ගන්වන්න මොන්ගෝලියන් රයිස් එකක් සමඟ වූ මෙම කෑම වේල හොඳින් ම ගැළපේවි. මේ මොන්ගෝලියන් රයිස් එක සඳහා චිලි පේස්ට් එකක් පමණක් සකසා ගැනීම ප්‍රමාණවත්. ස්වීට් කෝන් සුප් එක පිළිගන්වා ඉන් පසුව මොන්ගෝලියන් රයිස් එක ද පසුව අතුරුපස ද පිළිගැන්විය හැකියි.

බත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී හාල් කිලෝ ග්‍රෑම් 1 ක්

ලොකු දැල්ලෝ ග්‍රෑම් 500 ක්

ඉස්සෝ ග්‍රෑම් 500 ක්

චිකන් බ්‍රෙස්ට් 1 ක්

අවශ්‍ය නම් තලපත්

ආදී මාළු (සී ෆුඩ්)

කැරට් ග්‍රෑම් 500 ක්

ගෝවා ග්‍රෑම් 250 ක්

රතු, කහ, කොළ බෙල් පෙපර්

ලූනු කොළ ග්‍රෑම් 250 ක්

රම්පෙ, කරපිංචා

ඉඟුරු, සුදු ලූනු ග්‍රෑම් 50 ක් පමණ

ටෙරියාකි සෝස්

තායි ස්වීට් චිලී සෝස්

චිලී පේස්ට්

එළවළු තෙල්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

දැන් අපි පළමුවෙන් ම බත සකසා ගනිමු

පළමුවෙන් ම හාල් සෝදා පැය භාගයක පමණ වේලාවක් පෙඟෙන්නට තබන්න. පසුව දබර ඇඟිල්ලේ පළමු පුරුකෙන් භාගයක් පමණ වතුර දමා එයට ලුණු පුරවාගත් තේහැඳි 2 ක් හා එළවළු තෙල් මේස හැඳි 2 ක් බත් එකට එකතු කරන්න. මෙලෙසින් බත සකසා ගත යුත්තේ ප්‍රෙෂර් කුකර් එකේ බත සකසන විට දී ය.

ඔබ සාමාන්‍ය ලෙස ළිපේ බත සකසනවා නම් ඉහත ආකාරයට ම බත සෝදා තබා මැදඟිල්ලේ පළමු පුරුකට (වතුර අඬු කෝප්ප 8 ක්) පමණ වතුර තබා ඉහත ප්‍රමාණයට ම ලූනු හා එළවළු තෙල් දමා ළිප තබන්න.

දැන් ඉස්සන් හා දැල්ලන් සෝදා ගන්න. ඒවාට වතුර නොදමා ලුණු, ගම්මිරිස් දමා තම්බා ගන්න. (පවර් බොයිල් කරන්න)

චිකන් බ්‍රෙස්ට් එක දෙකට පලා එයට ලුණු, ගම්මිරිස් දමා තම්බන්න. මේ ආකාරයට ම මාළු ද තම්බා ගත හැකියි.

දැන් කැරට් සිහින් දිග තීරු ලෙස (ජුලියන් කට්) කපා ගන්න. ගෝවා නාරටි ඉවත්කර තීරුවලට කපන්න. මේ සඳහා රතු ගෝවා වුවද ගත හැකියි. ඉඟුරු, සුදු ලූනු ඉතා සිහින්ව කපා ගන්න.

දැන් පෑන් එකක් ගෙන එයට එළවළු තෙල් මේස හැන්දක් පමණ දමා ඉඟුරු, සුදු ලූනු හා සිහින්ව ලියා ගත් ලූනු තේ හැන්දක් ද දමන්න. කැමැති නම් පමණක් බිත්තරයක් දමා එය හැන්දකින් මිශ්‍ර කරන්න (ස්ක්‍රැම්බල්). දැන් මෙයට චිලි පේස්ට් ස්වල්පයක් එකතු කරන්න.

කලින් තම්බා ගත් මස්, මාළු හා එළවළු ද මෙයට එකතු කරන්න. ටෙරියාකි සෝස් මේසහැන්දක් සහ තායි ස්වීට් චිලී සෝස් මේස හැන්දක් ද මෙයට එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණයට සකසා ගත් බත් ද එකතුකර රස අනුව ලුණු, ගම්මිරිස් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.