විවාහ ගිවිස ගන්න රෝසමලින් හැඩ කළ කේක් එකක්

මාර්තු 27, 2019

රෝසමල්වලින් හැඩ වූ කේක් නිර්මාණයක් විවාහ ගිවිස ගැනීමකට නම් කදිමයි. බලන්න ළඟ එන මල් මාසයේ ඔබේ විවාහ ගිවිස ගැනීම සිදුකරන්නට අදහස් කරගෙන සිටිනවා නම් මේ කේක් නිර්මාණය ඒ සඳහා ගැළපෙනවාද කියා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8 ක විෂ්කම්භය සහිත

රවුම් කේක් දෙකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

පළමුව බේස්බෝඩ් එක ගෙන එහි එක කේක් එකක් තබා ගන්න.

එහි උඩින් බටර් අයිසිං තවරන්න. ඉන්පසු අනෙක් කේක් ලේයර් එක ගෙන එහි උඩින් තබන්න. ඒ මත ද අයිසිං තවරන්න. දැන් පැචුලාවක් භාවිත කොට කේක් එක වටේට අයිසිං කරගන්න. මෙසේ අයිසිං කරගත් පසුව ෆොන්ඩන්ට් ගුලියක් ගෙන එය මේසය මත තබා අයිසිං සීනි ඒ මතුපිටට ඉසිමින් අයිසිං ගුලිය රෝලිං පින් එකක් ආධාරයෙන් තුනී කරගන්න. එය හොඳින් තුනීකරගත් පසු එය අයිසිං තවරාගත් කේක් එක මතට එලා අතින් වටේට සකසා ගන්න. පසුව වැඩිපුර ඇති ෆොන්ඩන්ට් කපා ඉවත් කරගන්න. ඉන්පසු සුදු ෆොන්ඩන්ට් වලට රෝස කලරිං ස්වල්පයක් දමා රෝස ෆොන්ඩන්ට් සකසා ගන්න.

දැන් එසේ සකසාගත් රෝස ෆොන්ඩන්ට් තීරුවක් ගෙන වතුර ස්වල්පයක් ගා කේක් එක වටේට අලවා ගන්න. කේක් එකෙහි ඉදිරියට රිබන් බෝ එකක් ආකාරයට රෝස ෆොන්ඩන්ට්වලින් සකසා ගන්න.

බෝ එක සාදාගැනීම සඳහා අඟල් 8 ක් දිග අඟල් 2 ක් පළල තීරු දෙකක් කපාගන්න. ඒවා මැදට ටිෂූ ගුලි තබමින් දෙකට නවා අලවා ගන්න.

ඇලවූ කොටස අතින් මිරිකා වැඩිපුර කොටස් කපා ඉවත්කර ගන්න. මෙහි සෘජුකෝණාස්‍ර කොටස් දෙක වෙන වෙනම ඇලවූ පසු අතින් තදකළ කොන් දෙක එකිනෙකට ළංකර තව හීනි රෝස ෆොන්ඩන්ට් පටියකින් කවර් කරගන්න. දැන් එය බෝ එකක් ආකාරයට දිස්වෙයි. එහි පහත පටි දෙකෙහි කොන්දෙක එම හැඩයට කපා සකසා ගන්න.

ෆොන්ඩන්ට් රෝසමල් සාදා ගැනීම

ෆොන්ඩන්ට් රෝසමල් සකසා ගන්නා ක්‍රම කීපයක් තිබේ. ඉන් එක් ක්‍රමයක් ලෙස ඔබ කේක් එක සාදාගන්නා දිනට පෙරදින රාත්‍රියෙහි රෝස පොහොට්ටු සකසා ගන්න. පසුව පෙති එකින් එක ටූල් කරමින් මල සකසා ගන්න.

තවත් ක්‍රමයක් නම් මල් පෙති සියල්ලම කටර් එකක් භාවිත කරමින් ෆොන්ඩන්ට්වලින් කපා ගන්න. ඉන්පසු ඒවා ටූල්කර පෙත්ත මැදින් වතුර ස්වල්පයක් ගා දෙකට නවා, නැවූ කොටස රෝල් කරමින් මල සාදාගන්න.

ෆොන්ඩන්ට් පටියක් ගෙන එහි එක් පැත්තක් සිහින්ව කපාගෙන එම පැත්තේ සිට මහත පැත්තට ඇතුළට රෝල් කරන්න. එවිට මලක් සෑදේ. එය තවත් ක්‍රමයකි.

ෆොන්ඩඩ් රෝස මල සකසන ආකාරයට ද මේ මල සකසා ගත හැකියි. මේ කුමන හෝ ආකාරයට සකසාගත් මල් පිළිවෙළින් තබමින් කේක් එක ලස්සනට සකසා ගන්න.

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

ලීෂා සමරවික්‍රම