කොණ්ඩ කැවුම්

අප්‍රේල් 3, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

දුඹුරු සීනි ග්‍රෑම් 150 ක්

හාල් පිටි ග්‍රෑම් 120 ක්

පාන් පිටි ග්‍රෑම් 60 ක්

වැනිලා තේ හැන්දක් පමණ

වතුර කෝප්පයක්

(මෙය පදම අනුව වෙනස් වේ)

මීට වඩා අඩුවීමට ද පුළුවන්.

දැන් කැවුම්වල පිටි ඒදමු

සීනි, හාල් පිටි, පාන් පිටි හා වැනිලා ස්වල්පයක් එකතුකර එයට වතුර ස්වල්පය බැගින් දමමින් පිටි පදමට ඒදා ගන්න. මෙහි පදම ගත යුත්තේ හැන්දකින් වත්කරන විට එක උඩ එක රැලි වැටෙන ස්වභාවයයි. මෙසේ පදමට ඒදා ගත් කැවුම් පිටි මිශ්‍රණය පිපෙන්නට තැබිය යුතුයි. ඒ සඳහා අවම පැය 6 ක් වත් තිබිය යුතුයි.

දැන් කැවුම් හදමු

තාච්චිය ළිප තබා රත්කර එයට තෙල් කෝප්ප 1/2 ක් පමණ දමා රත්කරන්න. කැවුම වැහෙන්නම, ගැඹුරු තෙලේ බදින ආකාරයට තෙල් දමන්න එපා. කැවුම් බැදීම කළ යුත්තේ මඳ ගින්නේ. ඒ නිසා වැඩියෙන් ගින්දර දාන්න එපා.

දැන් රත් වූ තෙලට හැන්දකින්, සකසා ගත් මිශ්‍රණය වත්කරන්න. එය හරි මැදට එක දිගට විහිදුවන්නේ නැතිව වත් කළ යුතුයි. දැන් මඳක් බලාසිටීමේදී කැවුම උඩට ඇවිත් වටේ පිපෙන ආකාරය පෙනේ. ඒ වෙලාවට තෙල් ඉසීම සුදුසු නැහැ. වටේ පිපුණු පසු නැවතත් හැන්දෙන් මිශ්‍රණයෙන් මඳක් ගෙන පිපීගෙන එන කැවුමේ මැදට එක්කරන්න.

දැන් කූර හා හැන්ද ඔබට හුරු ආකාරයට අත් දෙකට ගන්න. බොහෝ විට කූර වමතටත් හැන්ද දකුණු අතටත් ගැනීම සිදු වේ. කූර කැවුමේ මැදට ගසා මිශ්‍රණය ඉහළට එන පරිදි කරකවමින් අනෙක් අතේ ඇති හැන්දෙන් කැවුමට තෙල් ඉසින්න.

මේ තෙල් ඉසීමේදී උඩට එන කොණ්ඩය කොටසට තෙල් වැදිය යුතුයි. එවිටයි කොණ්ඩය කොටස බැදෙන්නේ. දැන් මේ කැවුම වැඩියෙන් බදින්න එපා. තැම්බෙන ප්‍රමාණයට පමණක් බදින්න. නැතිනම් කැවුම් හයි වේ.