නෑගම් යන්නට ස්ට්‍රෝබෙරි ගැටෝ

අප්‍රේල් 3, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 450 ක්

බටර් ග්‍රෑම් 200 ක්

පිටි ග්‍රෑම් 200 ක්

බිත්තර 7 ක්

බේකිං පවුඩර් තේ හැදි 1 1/2 ක්

ස්ට්‍රෝබෙරි යුෂ මේස හැඳි 4 ක්

 

සුගර් සිරප් සඳහා

සීනි කෝප්ප 1 1/2 ක්

වතුර කෝප්ප 1 1/2 ක්

 

ක්‍රීම් එක සඳහා

විපිං ක්‍රීම් කප් 1 ක්

අයිස් කැට

සීනි මේස හැඳි 1 1/2 ක්

ස්ට්‍රෝබෙරි එසන්ස්

 

සාදා ගැනීම

පළමුව බටර් වලට සීනි ග්‍රෑම් 300 ක් එකතුකර හොඳින් බීට් කරන්න. එයට බිත්තර 4 ක් ද එකතුකර නැවතත් බීට් කරන්න. වැනිලා ස්වල්පයක්ද එයට එක් කරන්න.

දැන් පිටිවලට බේකිං පවුඩර් එකතුකර තෙවරක් හලා ගන්න. පසුව එය බටර් මිශ්‍රණයට එකතුකර කලවම්කර ගන්න.

ඉන්පසු වෙනත් බඳුනකට බිත්තර සුදුමද තුනක් දමාගන්න. එය හොඳින් බීට් කරන්න. එයට සීනි ග්‍රෑම් 150 ක් එකතුකර බීට් කරගන්න. එයට ස්ට්‍රෝබෙරි යුෂ ද එක්කර ගන්න. දැන් බටර් මිශ්‍රණයට ස්ට්‍රෝබෙරි යුෂ සහිත මිශ්‍රණය එක්කර නැවතත් කලවම් කරගන්න.

ඉන්පසු රවුම් තැටියක් ගෙන එයට ඉහත මිශ්‍රණයෙන් භාගයක් දමා සෙල්සියස් අංශක 160 ක උෂ්ණත්වයෙන් පුලුස්සා ගන්න. ඉතිරි මිශ්‍රණයද තවත් තැටියකට දමා පුළුස්සා ගන්න.

දැන් සුගර් සිරප් එක සාදා ගනිමු

ඒ සඳහා සීනි සහ වතුර එකතුකර ළිප තබා රත්කර සුගර් සිරප් සාදා ගන්න. එයට ස්ට්‍රෝබෙරි එසන්ස් ස්වල්පයක්ද එක් කරන්න.

පසුව පුලුස්සා ගත් කේක් දෙක ගෙන එයට ගෑරුප්පුවකින් ඇන ඒ මත සුගර් සිරප් දමා කේක් දෙක තෙත් කරගන්න.

ක්‍රීම් එක සාදමු

ඒ සඳහා විපිං ක්‍රීම් කප් එකක් ගෙන එය අයිස් කැට බඳුනක් මත තබා හොඳින් බීට් කරන්න. එය උකුවන විට සීනි සහ ස්ට්‍රෝබෙරි එසන්ස් ද එක්කර බීට් කරගන්න. ඉන්පසු පළමුව තෙත්කර ගත් එක් කේක් එකක් ගෙන ඒ මත ක්‍රීම් තවරන්න. එයට උඩින් ස්ට්‍රෝබෙරි කැබැලි කීපයක් අතුරන්න. දැන් නැවතත් අනෙක් කේක් එක තබා එයට උඩින්ද ක්‍රීම් තවරා ගන්න. එහි උඩට ස්ට්‍රෝබෙරි පෙති අතුරන්න.

දැන් ඔබට මෙය අමුත්තන්ට පිළිගැන්විය හැකියි.