උණුවෙන් කනකොට එක රසක් ශීත කළ විට වෙන රසක්

ජුනි 26, 2019

ඩිප්ලොමැට් /කැබිනට්

මේ පුඩිම තරමක වෙනස් බවක් ඇති පුඩිමක් ලෙසින් ඔබට හඳුන්වාදිය හැකියි.

පුඩිමේ අඩංගු ද්‍රව්‍ය එකම වුවද එය කෑමට ගන්නා ස්වභාවය අනුව නම වෙනස් වෙයි. පුඩිම සකසා උණුවෙන් ම ආහාරයට ගන්නේ නම් එය ඩිප්ලොමැට් පුඩිං ලෙසත් ශීත කර (සිසිල් කර) ආහාරයට ගන්නේ නම් කැබිනට් පුඩිං ලෙසත් හැඳින් වේ. මේ අපූරු පුඩිම සාදාගන්නේ කෙසේදැයි දැන් අපි බලමු.

මේ සඳහා අවශ්‍ය ස්පොන්ජ් කේක් එක සාදා ගැනීම පළමුවෙන් ම කළ යුතුයි. ඒ සඳහා,

මේ ද්‍රව්‍ය අවශ්‍යයි

බිත්තර 05ක්

සීනි ග්‍රෑම් 150ක්

පිටි ග්‍රෑම් 150ක්

වැනිලා තේ හැඳි 02ක්

දෙහි ගෙඩියක කොළ පාට කුරුට්ට

(මේ සඳහා බේකිං පවුඩර් අවශ්‍ය නොවේ)

සාදන්නේ මෙහෙමයි

සීනි සහ බිත්තර විනාඩි 10-12ක් පමණ වේලාවක් එක දිගට රිබන් ස්ටේජ් වන තෙක් බීට් කරන්න (හැන්දකින් ඉහළට එසවීමේ දී රිබන් එකක් ආකාරයට ඇද වැටෙන පදම). පසුව වැනිලා, දෙහි කුරුට්ට එකතුකර පිටි ස්වල්පය බැගින් දමා පෙරළුම් කරන්න. මෙය වැඩි වේලාවක් කලවම් කිරීම ද සුදුසු නැත. කැමැති නම් බටර් මේස හැන්දක් උණුකර එය අවසානයට එකතුකර දෙතුන් පාරක් මිශ්‍ර කරන්න. බටර් හා පිටි ඉසගත් ට්‍රේ එකකට මෙම මිශ්‍රණය දමා (කිලෝ එකක පමණ ට්‍රේ එකකට) සෙන්ටිග්‍රේඩ් අංශක 108ක පමණ උණුසුමැති විදුලි උදුනක පැය භාගයක් පමණ වේලාවක් තබා බේක් කරගන්න.

මේ සඳහා ෂුගර් සිරප් එකක් ද අවශ්‍ය වේ. එම සිරප් එක සකසා ගැනීම සඳහා,

සීනි ග්‍රෑම් 100කට වතුර කෝප්ප භාගයක් එකතුකර විනාඩි 5-10ක් පමණ මඳ ගින්නේ තබා සකසා ගත හැකියි. නැතිනම් මේ වෙනුවට මිරිකා ගත් අන්නාසි යුෂ ළිප තබා විනාඩි 5-10ක් පමණ වේලාවක් මඳ ගින්නේ තබා සිරප් එක සකසා එය නිවුණු පසුව බ්‍රැන්ඩි මේස හැන්දක් එක්කරන්න.

මේ සඳහා පලතුරු ලෙස අන්නාසි හෝ අඹ ස්ටූකර ගන්න. පලතුරු සාමාන්‍ය කොටු කපා අන්නාසි පමණක් ස්ටූ කරගන්න. රෝස්ට් කරගත් කජු මෙන්ම මික්ස් පීල් ද මෙයට ගත හැකියි. කළු මිදි දෙකට කපන්න.

කස්ටඩ් එක සඳහා

කිරි කෝප්ප 3/4ක්

සීනි ග්‍රෑම් 100ක්

කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 50ක් පමණ

කිරි ස්වල්පයකට කස්ටඩ් පවුඩර් ටිකක් දමා දියකර තබාගන්න.

ඉතිරි කිරිවලට සීනි දමා ළිප තබා උතුරවා ගන්න. උතුරන විට ළිප නිවා කිරි මිශ්‍රණය කස්ටඩ් මතට වත්කර හැඳි ගාන්න. නැවත කිරි උතුරපු බඳුනට දමා ළිප තබා මඳක් උකු වී ගෙන එන විට ළිපෙන් බාගන්න.

කේක් එක තුනී තට්ටුවලට කපා ගන්න. පුඩිම දාන බඳුනට කේක් තට්ටුව දමා අනිත් කේක් කඩා දමා ඒ මත ෂුගර් සිරප් වත් කරන්න.

උණු කස්ටඩ් ද ඒ මත ඉක්මනින් ම දැැමිය යතුයි. දැන් ස්ටූ කරගත් පලතුරු, කජු, චෙරි හෝ ස්ට්‍රෝබෙරි ආදිය දමා සරසා ගන්න.

අවශ්‍ය නම් මෙය උණුවෙන් ද අවශ්‍ය නම් ශීතකරණයේ දමා තැබීමෙන් පසුව ද ආහාරයට ගත හැකියි.

මේ දෙයාකාරයට ම රස විඳ ඔබට රිසි රසය තෝරා ගත හැකියි.