දියණියගේ උපන් දින කේක් එකේ හැඩට යුනිකෝන්

සැප්තැම්බර් 11, 2019

 

වර්ණ කීපයක එකතුවකින් සැදුණු යුනිකෝන් (Unicorn) සත්වයාගෙන් හැඩ කළ කේක් එකකි. බලන්න, මෙවැනි කේක් එකක් දියණියගේ උපන් දිනයට හරිම අපූරුයි නේද කියලා. තට්ටු හතරකින් සමන්විත මේ කේක් නිර්මාණය ඔබේ දියණිය හරිම සතුටු වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 12 1/2x1 ප්‍රමාණයේ බේස් බෝඩ් එකක්

අඟල් 12x5 විශ්කම්භය සහිත රවුම් ඩමි එකක්

අඟල් 10x5 විශ්කම්භය සහිත රවුම් ඩමි එකක්

අඟල් 8x5 විශ්කම්භය සහිත රවුම් ඩමි එකක්

අඟල් 6x3 විශ්කම්භය සහිත තැටියක පුලුස්සාගත් රිබන් කේක් තුනක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

පළමුව රිබන් කේක් තුන ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. අවශ්‍ය නම් ඉහත සඳහන් ඩමි වෙනුවට එම ප්‍රමාණවලින් කේක් සාදා ගත හැකියි.

දැන් පළමුව අඟල් 12ය5 විශ්කම්භය සහිත ඩමිය ගෙන ළා නිල් ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු එහි තැනින් තැනට එඩිබල් පර්ල් ඩස්ට් එක සහ දම්, කහ කලරිං මිශ්‍රකර පැතලි පින්සලක් ආධාරයෙන් වර්ණ ගන්වා ගන්න. අඟල් 10ය5 විශ්කම්භය සහිත ඩමිය රෝස ෆොන්ඩන්ට්වලින් ආවරණය කරන්න. අඟල් 8ය5 විශ්කම්භය සහිත ඩමිය කහ ෆොන්ඩන්ට් අයිසිංවලින් සහ අඟල් 6ය3 ප්‍රමාණයට සාදා සැන්ඩ්විච් කරගත් කේක් එක නිල් ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරන්න.

 

දැන් යටම ඇති ඩමිය සහ බේස්බෝඩ් එක වටා ෂෙල් මෝස්තරය ඉස්මතු වනසේ රෝයල් අයිසිංවලින් දමාගන්න. එම ඩමියට සුදු පැහැති ෆොන්ඩන්ට්වලින් කටර් මඟින් කපාගත් වලාකුළු හැඩැති කොටස් අලවා ගන්න. එයට උඩින් රෝස වර්ණ ඩමිය තබා රෝයල් අයිසිංවලින් අලවන්න. එම ඩමිය වටා රෝයල් අයිසිං මඟින් ලේස් මෝස්තරයක් දමාගන්න. යටට ෂෙල් බෝඩයක් දමා ගන්න. එයට උඩින් කහ වර්ණ ඩමිය අලවන්න. ඒ වටා කහ වර්ණ ෂෙල් බෝඩයක් දමා ගන්න. එයට උඩින් නිල් වර්ණ කේක් එක තබා ගන්න.

 

ඉන්පසු එම ඩමිය මතුපිට දේදුන්නක් ආකාරයට ෆොන්ඩන්ට් පටි කපා අලවන්න. ඒ මත කටර් ආධාරයෙන් කපාගත් තරු සහ වලාකුළු අලවන්න. දැන් යුනිකෝන්ගේ හැඩය සුදු ෆොන්ඩන්ට්වලින් කපා අලවා ඒ මත රූපයේ පෙනෙන පරිදි කොටස් ඒ ඒ වර්ණ ෆොන්ඩන්ට්වලින් කපා අලවන්න. අවසානයේ රෝස සහ දම් වර්ණ රෝස මල් සහ කොළ පාච්මන්ට් අයිසිංවලින් සාදා අදාළ ස්ථානවල තබා අලවා ගන්න.

2019/09/04 තරුණි බලන්න

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය