කනවනම් කමු..

අගෝස්තු 5, 2020

මුහුණු පොතේ ඇති සමූහයන් අතරින් විශේෂිත වූ සමූහයක් ලෙස කනවනම් කමු සමූහය පිළිබඳ තොරතුරු පසුගිය සතියක දී ඔබට ඉදිරිපත් කළෙමු. මේ සමූහයේ විශේෂත්වය වන්නේ අපි කුඩා කාලයේ සිට විවිධ කෑම රස බැලීමට කැමැති ආකාරයන් ඉදිරිපත් කිරීමයි. ඒ අතර සාමාජිකයන් අතර තරග පැවැත්වෙන අතර පසුගිය සතියේ ඉදිරිපත් කළේ එලෙසින් ජයගත් කෑම වට්ටෝරුවකි.

 

පෝෂණය සපිරි ධාන්‍ය රස කැවිල්ලක්

අද අපි ඉදිරිපත් කරන කෑම වට්ටෝරුව හේතු කිහිපයක් නිසාම විශේෂිත වූවකි. එනම් රටවල් 76 ක පමණ සිටින ලාංකිකයන් සාමාජිකත්වය දරන මෙම සමූහයේ සාමාජික සංඛ්‍යාව දස දහස සම්පූර්ණ වූ දින එය සැමරීම සඳහා විශේෂිත වූ ආහාර වට්ටෝරුවක් ඉදිරිපත් කෙරිණි.

එය නව නිර්මාණයකි. ඩුබායි හි තරුපහේ හෝටලයක ප්‍රධාන සූපවේදියෙක් ලෙස සේවය කරන දේශීය දේ අගයන සූපවේදියෙක් වන ධනුෂ්ක රත්නායක මේ අලුත් කෑම වට්ටෝරුව සමාජගත කළ පුද්ගලයා ය. මෙය ලොවට ම හඳුන්වාදෙන අලුත් ම ආහාර වර්ගයකි. ධාන්‍ය වර්ගවලින් සකසා ඇති මෙම ආහාරය රසකැවිල්ලකි.

එම විශේෂිත වූ රසකැවිල්ල තරුණී සමඟ හිඳින ඔබටත් සකසා රස විඳීන්නටත්, පවුලේ අයට සකසා දෙන්නටත්, අලුත් රසකැවිල්ලකින් නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීමටත් දැන් ඔබට පුළුවන්. මෙහි ධාන්‍ය වර්ග අඩංගුවන බැවින් පෝෂණීය වටිනාකම අතින් ද ඉතා ඉහළ බැවින් දරුවන්ට වෙනත් රසකැවිලි දෙනවාට වඩා මේ රසකැවිල්ල සකසා දීම ඔවුන්ගේ සෞඛ්‍ය රැක ගැනීමටත් ඔබට උදව්වක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං ග්‍රෑම් 400ක්

හබලපෙති ග්‍රෑම් 600ක්

වියළි පොල් ග්‍රෑම් 40ක්

කජු ග්‍රෑම් 75ක්

කස කසා ඇට ග්‍රෑම් 20ක්

වට්ටක්කා ඇට මද ග්‍රෑම් 40ක්

හණ ඇට(flaxseed)  ග්‍රෑම් 50ක්

රටකජු ග්‍රෑම් 40ක්

කලු තල ඇට ග්‍රෑම් 40ක්

සුදු තල ඇට ග්‍රෑම් 40ක්

මෙනේරි ග්‍රෑම් 40ක්

සූදුරු ග්‍රෑම් 10ක්

මහදුරු ග්‍රෑම් 10ක්

කොත්තමල්ලි කුඩු ග්‍රෑම් 10ක්

කුරුඳු කුඩු ග්‍රෑම් 10ක්

සාදික්කා ග්‍රෑම් 10ක්

කරාබුනැටි කුඩු ග්‍රෑම් 02ක්

එනසාල් ඇට කුඩු ග්‍රෑම් 05ක්

ඔලිව් තෙල් ග්‍රෑම් 100ක්

තල තෙල් ග්‍රෑම් 125ක්

මීපැණි ග්‍රෑම් 150ක්

කිතුල් පැණි ග්‍රෑම් 100ක්

දැන් මෙලෙසින් එය සාදමු:

සියලුම වියළි ද්‍රව්‍ය (ඇට වර්ග හා කුඩු වර්ග) එකට මිශ්‍රකර අවන් එකේ හෝ තාච්චියේ දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න. ඔලිව් තෙල්, තල තෙල්, මී පැණි, කිතුල් පැණි සියල්ල එකට දමා එය උණුකරන්න. උතුරන්නට පෙර පැණි මිශ්‍රණය ළිපෙන් බාගන්න. දැන් මේ උණුකර ගත් පැණි කලින් බැදගත් ද්‍රව්‍ය ඇති බඳුනට දමා හොඳීන් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණය තෙල් කඩදාසියක් ඇතිරූ බේකිං ට්‍රේ එකක තුනීකර ගන්න. (ඝනකම සෙන්ටි මීටර 0.5 ක රෝලිං පින් එකක් භාවිතයෙන් පහසුවෙන් තුනීකර ගත හැකියි) ඉන්පසුව සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයට සැකසූ අවන් එක විනාඩි 20-25 ක් පමණ වේලාවක් තබා බේක්කර ගන්න. උණුවෙන් ම කෑලිවලට කපා නිවෙන්නට තබන්න. දැන් සුළං නොවදින සේ බඳුනක අසුරා තබා භාවිතයට ගත හැකියි. රසයෙන් මෙන්ම ගුණෙයන් ද පිරිපුන් මේ රසකැවිල්ල ඖෂධයක් තරමට ම වටිනාකමෙන් යුතු වූවකි.

 

විශේෂ ස්තුතිය

කනවනම් කමු සමූහයේ නිර්මාණකරු

අමල් අත්තනායකට

 

සූපවේදි

ධනුෂ්ක රත්නායක