රුවන්තිගෙන් අළු කෙසෙල්,වම්බටු මෝජුවක්

අගෝස්තු 26, 2020

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරිස්ගේ ‘ගොළු හදවත’ ටෙලිනාට්‍යයේ රඟපෑමට ආරාධනා ලැබ සිටියදී, ඩී. බී. නිහාල්සිංහ ඇයව ඔහුගේ ‘රෙක්සෝනා’ වෙළෙඳ දැන්වීමට තෝරා ගත්තේය.

ඈ 90 දශකයේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි ආදරණීය ගායක නාමල් උඩුගම ගේ ප්‍රියංබිකාවයි. ටෙලි නාට්‍ය 175 කට ආසන්න ප්‍රමාණයක රංගන දායකත්වය ලබා දී ඇත. සැබෑම රුවැත්තියක් වූ ඇය රුවන්ති මංගලා කාන්ති පෙරේරායි.

රුවන්ති මොනවද අද ‘තරුණී’ පාඨකයන් වෙනුවෙන් ඔයා හදන්න යන්නේ?

මම අද කියා දෙන්න යන්නේ ඉක්මණින් හදා ගන්න පුළුවන් අළුකෙසෙල්, වම්බටු මෝජුවක්.

කාගෙන්ද ඔයා මේක ඉගෙන ගත්තේ?

අපේ ගෙදර උයන්න ඉන්න මාධවීගෙන්. ඇය දමිළ තරුණියක්. දෙමළ ජනතාව අතර මේ මෝජුව හරිම ජනප්‍රිය එකක්.

අපිට ද්‍රවිඩ ව්‍යාංජනයක් හඳුන්වා දෙන්නත් බැරි වුණා. රසට ඇති. අපි හදලා බලමු එහෙනම්.

මුලින්ම අළු කෙසෙල් ගෙඩි 2 - 3 ක් පොතු ඇරලා පොඩි කොටුවලට කපා ගන්නවා. ඒ විදියටම වම්බටු ගෙඩි දෙකක් පොඩි කොටුවලට කපාගෙන පෑන් එකකට පොල්තෙල් දාලා සාමාන්‍යය ගැඹුරේ රන්වන් පාට වෙන තෙක් බැදලා අයින් කරගන්නවා. ඊට පස්සේ වෙනත් පෑන් එකක් ළිප තියලා ඒකට පොල්තෙල් මේස හැඳි දෙකක් දාලා රත්වීගෙන එනකොට ඒකට ලියාගත් රතුලූනු, හීනියට කපාගත් අමුමිරිස්, රම්පෙ, කරපිංචා, සේර කැල්ලක්, සුදුලූනු දාලා බැදීගෙන එනකොට ඒකට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු රස පදමට ලුණු එකතු කරලා හොඳට කලවම් කරලා විනාඩියකින් විතර කපාගත් තක්කාලි ගෙඩියක් එකතු කරනවා. ඊට පස්සෙ තවත් විනාඩියකින් විතර අපි අර තෙලෙන් බැදගත් වම්බටු අළු කෙසෙල් කැබැලි ටික එකතු කරලා හොඳට හැඳිගාලා උකු මිටි කිරි කෝප්පයක් විතර එකතු කරලා විනාඩි 3 ක් විතර පියන වහලා ඉදෙන්න තියලා ළිප ධටට කරලා හැඳි ගාලා බා ගන්නවා.

 

 

2020/08/26 තරුණි බලන්න