කුස්සියේ වැඩ පහසු කරන GadGematics

සැප්තැම්බර් 9, 2020

ගෘහණියගේ දෛනික ජීවන ර‍ටාවේ ප්‍රමුඛතම ස්ථානය පවුලේ පෝෂණයට හිමිවෙනවා. මේ නිසා ඇය නිවෙසේ වැඩි කාලයක් ගතකරන ස්ථානය වන්නේද මුළුතැන්ගෙයයි. පවුලේ පෝෂණය හා නිරෝගී බව වෙනුවෙන් පෝෂණීය ආහාරවේලක් නිවෙසේදීම ඉක්මනින් පිරිසුදුව පිළියෙල වීම අත්‍යවශ්‍යම කරුණක්. දවසේ වැඩි කාලයක් මුළුතැන්ගෙයි ගත කරන ගෘහණියන්ට ඒ කාලය අඩුකර දෙන උපකරණ කිහිපයක්ම වෙළෙඳපොළට ඇවිත්. ඔබේ වටිනා කාලය ඉතුරු කරදෙන මුළුතැන්ගෙයි මේ උපකරණ ඔබේ වැඩ තවත් පහසුකර දේවි.

 

හරිම හැඩයට කපා ගන්න

Watermelon Cutter

කොමඩු එක සමානව කපා ගන්න නම් සාමාන්‍ය පිහියකින් කරන්න අපහසුයි.

සාමාන්‍ය පිහියකින් කැපුවත් Watermelon Cutter එකෙන් තරම් හොඳී කපා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ.

ගුණාත්මකභාවය සහිත කල් පවතින ප්ලාස්ටික් පෙත්තක් සහ මල නොබැඳෙන වානේ තල පෙත්තක් සහිත මෙය හැසිරවීම ඉතා පහසුය. පහසු ග්‍රහණය‍ක් ලබා දෙන ප්ලාස්ටික් හසුරුව සහිත හැඬලය දෙපසින් අල්ලා ගෙන එය කොමඩු ගෙඩිය මත තබා තද කිරීමෙන් එක සමාන කොමඩු කැබැලි ලබා ගත හැකියි. තියුණු ගොරෝසු පිහි වැනි තල කොටස් කොමඩු ගෙඩිය හරහා පහසුවෙන් ගමන්කර පිරිසිදු ලෙස කැබැලි වලට කපා දමයි. එලෙස කැබැලි 12ක් එකවර කපා ගත හැකිය. ගෘහණියන් හෝ වෘත්තීය සූපවේදීන් සහ ආපනශාලා හිමියන් සඳහා අත්‍යවශ්‍ය පහසු මෙවලමක් වන මෙය කොමඩු වැනි බෝල හැඩැති පලතුරු සහ එළවළු කැපීම සඳහා යොදා ගත හැකියි.

තල පිරිසුදු කිරීමට බුරුසු වර්ග භාවිත නොකරන්න. ඒ සඳහා ගලා යන ජලයට ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ය. මෙය තියුණු තල සහිත උපකරණයක් නිසා අනතුරු සිදුවිය හැකි බැවින් ළමයින්ට හසු නොවන ලෙස තබන්න.

 

--------------------------

එළවළු ලියා දෙන

Press Chopper

ඕනෑම ව්‍යංජනයක් ආහාරයක් සකසද්දී සුදු ලූනූ, ලූනූ, කැරට් ලීක්ස් වැනි ආහාර ලියා ගන්න අවශ්‍ය වෙනවා. එය තරමක කාලයක් ගතවන දෙයක්.

විශේෂයෙන්ම ලූනු ලියන්න ඇතැම් අය එතරම් කැමැත්තක් දක්වන්නේ නැත්තේ ඇස්වලට ඇතිවන අපහසුතා නිසයි. තත්පර කිහිපයකින් දැන් මේ සේවාව පහසුවෙන් ලබා ගත හැකි නව උපකරණයක් වෙළෙඳපොළට ඇවිත්.

Press Chopper  හරහා ලූනූ, සුදු ලූනූ, ඉඟුරු, කැරට්, තම්බාගත් අල වැනි බෝහෝ දෑ පහසුවෙන් චොප් කර ගත හැකියි. කල්පවතින ප්ලාස්ටික්වලින් සකසා ඇති මෙහි සිග්සැග් හැඩයට ඇති තල, මල නොබැඳෙන වානේවලින් සකසා ඇත.

මෙය ප්‍රධාන ලෙස කොටස් 4කට වෙන් කළ හැකියි. ඊට අමතරව හැඬලය සහිත හිස කොටසත් පිරිසුදු කිරීමේදී කොටස් දෙකකට වෙන්කර පිරිසුදු කිරීම් කර ගන්න පුළුවන්.

මේ උපකරණයේ කප් එක සහිත කොටස ඉවත්කර එයට ඔබට චොප්කර ගැනීමට අවශ්‍ය දේ දමන්න. ඉන්පසු එය වසා මේසය මත තබන්න. එක් අතකින් එහි මැද කොටස අල්ලාගෙන අනෙක් අතින් හිස කොටස කිහිප විටක් තද කරන්න. එවිට තියුණු තල හරහා තප්පර කිහිපයක් ඇතුළත එය චොප්කර ගත හැකියි. මෙය වර්ණ කිහිපයකින්ම මිල දී ගැත හැකියි. පසු කාලයේදී තල මාරු කර ගන්නත් පුළුවන්.

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න