දරුවන්ගේ සෙල්ලම් කාලයට ඉඩදෙමු

අගෝස්තු 7, 2019

“දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලෙ

හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ”

මේ අප පාසල් යන වයසේ දී නිවාඩුවක් ලද විගස ඇතිවූ සතුට ප්‍රකාශ කරන්නට ගැයුූ ගීයකි.

තවත් වසර මැද පාසල් නිවාඩු කාලයක් ඇරැඹී තිබේ. අගෝස්තු 02 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා මාසයක කාලයක් මේ නිවාඩුව වෙනුවෙන් වෙන්වී ඇත. එසේම 04 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණු අතර 05 වැනිදා අ.පො.ස. උසස් පෙළ විභාගය ඇරැඹිණි.

පාසල් දරුවනට වසරේ අවස්ථා කීපයකදීම නිවාඩු ලබාදෙන්නේ ඔවුන්ට මානසිකව මෙන්ම ශාරීරිකව ද විවේකයක් අත්‍යවශ්‍ය නිසාය. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට පොත පතේ දැනුමටත් වඩා අවශ්‍ය වන්නේ බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ ලබන දැනුමය.

එහෙත් වර්තමානයේ ඇතිවී තිබෙන තරගකාරීත්වය නිසා මේ සියල්ල උඩු යටිකුරු වී තිබේ. පෙර පාසල් වයසේ සිටම දරුවන් අමතර පන්තිවලට (ටියුෂන්) ගෙන යන්නට බොහෝ මවුපියෝ උනන්දු වෙති.

ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය යැයි කියන්නේ ඒ නිසාය. දුව පැන ඇවිදිමින් කෙළි සෙල්ලමෙන් සිටින්නට වඩාත්ම පි‍්‍රයකරන දරුවන් පාසලටත්, එතැනින් අමතර පන්තිවලටත් ගෙන යන්නේ මවුවරුන්ගේ කැමැත්තටය.

ඒවා අවසන් වී යළිත් නිවෙසට පැමිණි සැණින් ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්නට දරුවන් යොමු කරන්නේ ද ඒ මවුවරුන්මය. සැබැවින්ම කුඩා මනසට මෙය දරන්නට නොහැකි අන්දමේ පීඩනයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ නිසා ආදරණීය මවුවරුණි, ඔබට යෝජනාවක් කිරීමට කැමැත්තෙමි. ඔබ ඔබේ ළමා කාලය පිළිබඳව සිතන්න. ඔබේ ළමා කාලයේ මුහුණ දුන් අතිශයින් පී‍්‍රතිමත් වූ හෝ අතිශයින් දුකට, කම්පනයට පත්වූ සිදුවීමක් හෝ කීපයක් ඔබට ක්ෂණයකින් මතකයට නඟා ගත හැකියි නේද ?

ඇතැම් දුක්බර සිදුවීම් ආයාසයකින් තොරවම ඔබේ මනසට නැඟෙනවා නේද?

එසේනම් ඔබ ඔබේ කුඩා දියණිය හෝ පුතාගේ මානසිකත්වය පිළිබඳ වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතිය යුතුයි.

මේ පාසල් නිවාඩු කාලය දරුවන්ට විභාග කරදරයෙන් මිදී නිදහසේ සැහැල්ලුවෙන් ගතකරන්නට ඉඩකඩ සලසා දෙන්න. ඔබ කොතරම් කාර්ය බහුල වුවත්, කාර්යාලයේ ව්‍යාපාරයේ කොතරම් වැඩ අධික වුවත් මේ පාසල් නිවාඩු කාලෙයේ දරුවන් වෙනුවෙන් එක් දිනක් හෝ වෙන්කරන්න. නිවාඩුවක් ගෙන දරුවන් සමඟ විනෝද සවාරියක් යාමට සැලසුම් කරගන්න.

එසේ නොහැකි නම් නිවෙසේ රැඳී සිට පි‍්‍රයකරන කෑමක් සාදා දරුවන් සමඟ රසවිඳින්න. එය ඔවුනගේ කුඩා මනසට හොඳ විවේකයක් වේවි.

නිවෙසේ සිටිමින් දරුවන් සමඟ ක්‍රීඩාවක නිරතවන්න, මල් පැළයක්, පලතුරු පැළයක් සිටුවන්න, කෑමක් බීමක් හදන්නට ඔවුන් හවුල් කරගන්න, ඔබට හැකිනම් එය දරුවන්ගේ අනාගත යහපත් දිවියක් සඳහා මිල කළ නොහැකි ආයෝජනයක් වනු ඇත.

දරුවන්ගේ පාසල් නිවාඩුව වෙනුවෙන් බොහෝ ටෙලිවිෂන් නාළිකා විවිධ වැඩසටහන් විකාශය කරනු ඇත. දරුවන්ද ඒවා ආසාවෙන් නරඹන්නට සැදී පැහැදී සිටිනු ඇත. මෙතැනදී ඔබ වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.

දරුවන්ට නිවාඩු කාලයේ දී කාලසටහනකට වැඩ කරන්නට කියාදෙන්න. එළිමහනේ කය වෙහෙසා කරන ක්‍රීඩා සඳහා වැඩි කාලයක් එම කාලසටහනෙන් වෙන් කර දෙන්න. ටෙලිවිෂනය ඉදිරියේ වාඩිවී ගත කරන කාලය අවමකර හැකි තරම් ක්‍රියාශීලීව සිටින්නට පොලඹවන්න.

අගෝස්තු මාසය සරුංගල් කාලය බැවින් දුව, පුතා එකතු කරගෙන සරුංගලයක් සාදා එය උඩ අරින්න. එවිට ඔවුන් ලබන පී‍්‍රතිය ඔබට ලක්ෂ ගණන් මුදල් ගෙවාවත් ලබාදෙන්නට නොහැකි බව වැටහෙනු ඇත.

මෙවර පාසල් නිවාඩු කාලය මේ ලෙස දරුවන්ට ගතකරන්නට ඉඩ දී නිවාඩුව අවසන් වුණු පසු අධ්‍යාපනයට සිත යොදවන්නට පොලඹවන්න. එවිට ඔවුන් හොඳින් අධ්‍යාපනය හදාරන්නට උනන්දු වේවි. ඊළඟ පාසල් නිවාඩුවේ පී‍්‍රතියෙන් සෙල්ලම් කරන්නට ලැබෙන අවස්ථාව ගැන සිතා ඔවුන් පාසල් අධ්‍යාපන කටයුතු හොඳින් අවසන් කරන්නට උනන්දු වේවි.