හෙට දින ලොව ජයගත හැකි දරුවකු නිර්මාණය කරමු

ඔක්තෝබර් 16, 2019

මේ වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පසුගියදා නිකුත් විය. එහිදී වාර්තාගත ලෙස ලකුණු 199 ක් ලබාගත් ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික පාසලේ අදීෂ නෙතුම් සිසුවා රටේම කතාබහට ලක්වූයේ එක රැයින් ජනපි‍්‍රය තරුවක් බවට පත්වෙමිනි.

අදීෂ පුතුට මේ ජයග්‍රහණය ලබාගන්නට මඟ පෙන්වූ මවුපියන්, සහෝදරියන් මෙන්ම එම විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට සුබ පැතුම් එක් කරමින් මේ සටහන අරඹමි.

ජීවිතයේ ප්‍රථම කඩඉම් අභියෝගයට මුහුණ දී ඉහළම ලකුණු ලබාගන්නට අදීෂට හැකිවූයේ කෙසේ ද? මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් අද අප පුවත්පතේ 33 වැනි පිටුවේ පළවෙයි. එහිදී අදීෂ දරුවා කළ කතාව අනුව පෙනී යන කරුණු කිහිපයක්ම තිබේ.

ඉන් පළමුවැන්න අදීෂගේ දක්ෂතාව හඳුනාගන්නට ඔහුගේ මවුපියන් බුද්ධිමත් වූ බවයි.

එසේම එම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ කැපවීමයි.

එහෙත් දරුවන් සමඟ කරන කටයුතුවලදී ඔවුන් කොතෙක් උනන්දු කරවූවත් සෙල්ලමටම සිත යන එක දරුවන්ගේ ස්වභාවයයි.

මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ මේ අභියෝගය ජයගන්නට අදීෂ පුතාගේ තිබුණු උනන්දුව සහ උත්සාහයයි.

අදීෂ පුතුගේ මෙම ජයග්‍රහණය අප රටේ සුවහසක් මවුවරුනට අපූර්ව පණිවුඩයක් ලබාදෙයි. එසේම පාසල්වල ගුරුවරුන්ට ද මින් සිතන්නට බොහෝ දේ තිබේ.

පහේ ශිෂ්‍යත්ව විභාගය හඳුන්වන්නේ ‘මවුවරුන්ගේ විභාගය’ නමිනි. එයට හේතුවක් ද තිබේ. ඒ දරුවන් නිතරම කෙළි සෙල්ලමට බර නිසා පොතපතට අධ්‍යාපනයට උනන්දුව ඇති කරන්නේ මවුවරුන් නිසාය.

කෙසේ වෙතත් දරුවන් පොතපතට යොමුකළ යුතු බව සැබෑවක් නමුත් ඔවුනට ළමා ලෝකය අහිමි කරමින්, විභාගය පමණක් නොව ඇතැම් විට ජීවිතයම එපා කරවන තරමට බැටදීම අනුමත කළ නොහැකිය.

විභාගය අවසන් වුණු සැණින් බොහෝ දරුවන් සෙල්ලමට යොමුවන්නේ මේ නිසාය.

දැන් ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. ප්‍රතිඵලය කුමක් වුවත් තම දරුවාගේ සිත නොරිදවීමට මවුපියන් කටයුතු කළ යුතුය.

ඒ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවකුගේ ජීවිතයම නොවන නිසාය. ශිෂ්‍යත්වය සමත්වුණු දරුවන්ගේ මවුපියන් බොහෝ සතුටු වෙති.

උද්දාමයට පත්වෙති.

එහෙත් අසමත් වුණු දරුවන්ගේ මවුපියන් තම දරුවන්ගේ සිත් සනසා ඔවුන් ඉදිරියේ දී මුහුණ දෙන සෙසු විභාග ජයගන්නට, ඒ කඩඉම් අභියෝගවලට මුහුණ දෙන්නට සූදානම් කළ යුතුය.

විභාගය අසමත් වූ පමණින් දරුවාට ඇති සෙනෙහස, ආදරය තරහවක්, ක්‍රෝධයක් කර නොගත යුතුයි.

මා මෙලෙස සටහනක් තබන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා මවුපියන්ට දී ඇති අපූරු නියෝගයක් දුටු නිසාය.

ඒ අනුව මෙවර පැවැති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගය අසමත් වූවා යැයි පවසමින් ඇතැම් මවුපියන් දරුවන්ට විවිධ හිංසා පීඩා හා මරණීය තර්ජන පවා එල්ල කරන බව තමන්ට දැනගැනීමට ලැබී ඇති බවත් කිසියම් මවක් හෝ පියෙක් එකී දරුවන්ට හිංසා පීඩා කරන බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එම්. එච්. අබේරත්න මහතා පවසයි.

අබේරත්න මහතා එසේ පවසා ඇත්තේ සිය මව විසින් කළ එවැනි තර්ජනයක් සම්බන්ධව දැරියක් ඇගේ ගුරුවරියට ලියන ලදැයි සැක කෙරෙන ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවට ඔහුට ලැබී ඇති පසුබිමකය.

මේ පිළිබඳව මීට වඩා යමක් පැවසිය යුතු නොවේ.

ආදරණීය මවුපියන්ට කියන්නට ඇත්තේ එක දෙයකි. ළමයකුට සිය ළමා කාලය රිසි සේ ගතකරන්නට ඉඩදිය යුතුය. මවුපියන් ලෙස කළ යුත්තේ දරුවාට හොඳ නරක, යහමඟ කියාදෙමින් ඔවුනට ජීවිතය පිළිබඳ හෙමින් උගැන්වීමයි.

බුදුහිමියන් මවුපියන් පූර්වාචාරීන් යැයි දේශනා කළේ එහෙයිනි.

හෙට දින මුළු ලොවම ජයගත හැකි සාර්ථක, බුද්ධිමත් දරුවකු නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම දැමිය යුත්තේ මවුපියන් නිසා සෑමවිටම ඔබ බුද්ධියෙන් යුතුව ක්‍රියාකළ යුතුය.