දූ දරු පෞරුෂය ගොඩනැඟෙන්නේ මාපිය භූමිකාවල ශක්තිය මතයි

දෙසැම්බර් 3, 2018

10 වසර පන්තිභාරව කටයුතු කළේ සමන්ලතා ටීචර්. මෙවර වාර විභාගයේ ප්‍රගති වාර්තා සම්පූර්ණ කරමින් සිටින ඇයගේ දැඩි අවධානයට ලක්වූයේ ලකිඳුවයි. සියලුම විෂයයන්වලට 90 ට ඉහළ ලකුණු ලබා සිටියත්, ලකිඳු වෙතින් දිස්වන අසාමාන්‍ය හැසිරීම් රටාව නම් ඇයට කුතුහලය දනවන්නක් වුණා.

ඇය බොහෝ කලක සිට ඒ ගැන හොඳ විපරමකින් පසුවූවත් එයට හේතුව කිසිසේත්ම සොයාගැනීමට නොහැකි වුණා.

ගැහැනු ළමුන් ඉදිරියේ ඔහු ඕනෑවටත් වඩා ආචාරශිලීබවක් දැක්වීම ඇයට ගැටලුවක් වුණා. එය ඇත්තටම ආචාරශීලීත්වය ද නැතිනම් බයාදු කමක් දැයි ඇයට තේරුම්ගන්නට නොහැකි වුණා.දිවා ආහාරය ගෙන අත සෝදන්න ටැප් එක ළඟට ගියත් ගැහැනු ළමයෙක් නැති වෙනකල් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.

කොරිඩෝ එකේදි ගැහැනු ළමයෙක් මුණ ගැසුණහොත් අසාමාන්‍ය ලෙස ඉවත්වෙලා ඉඩ දෙනවා. කොතරම් කල්පනා කළත් මෙයට හේතුවක් සොයාගැනීමට නම් තවමත් සමන්ලතා ටීචර්ට පුළුවන් වුණේ නැහැ.

මෙය බයාදුකමක් ලෙස අවසානයේ ඇය තේරුම් ගත්තා.

මෙවර පන්ති රැස්වීමේ දී ලකිඳුගේ මව සමඟ ඒ ගැන කතාකළ යුතුයැයි ඇය තීරණය කළා.

පන්ති රැස්වීමෙන් පසු ලකිඳුගේ මවට කතා කිරීමට සිතා සිටියද ප්‍රාදේශීය ලේකම්වරියක වූ ඇයට වැඩ අධික නිසා ඉක්මනින් යායුතුව තිබුණා. හමුවීමට නිදහස් දිනක් යොදාගන්නා පොරොන්දුව පිට ඇය වහා ඉවත්ව ගියා.

පණිවුඩ කිහිපයක් යැවූ නමුදු ලකිඳුගේ මව හමුවීමට සමන්ලතා ටීචර්ට හැකිවුණේ නෑ. අවසානයේ ලකිඳුගේ පියාවත් හමුවිය යුතුයැයි ඇය තීරණය කළා.

පණිවුඩ තුනක් යැවීමෙන් අනතුරුව ලකිඳුගේ පියා සමන්ලතා ටීචර් හමුවීමට පැමිණියා.

“ආ... මේ ලකිඳුගෙ තාත්ත ද? ලකිඳුගේ අම්මට සෑහෙන වැඩ වගේ නේද?”

“ඔව් ටීචර්. එයා ඉතින් ප්‍රාදේශීය ලේකම්වරියක්නේ. මේ අවුරුද්දේ ව්‍යාපෘති සැලැස්මට අදාළ වැඩ ඉවරකරගන්න ඕන කියලා හැමදාම රෑ වෙනකල් වැඩ”

“එතකොට ලකිඳුගේ තාත්තා”

“මං එකවුන්ටන් කෙනෙක් විදියට වැඩ කරලා දැන් විශ්‍රාම අරන් ගෙදරමයි ඉන්නේ”

“ම්ම්ම් එහෙමද? මං මේ එන්න කිව්වේ ලකිඳුගේ අසාමාන්‍ය හැසිරීම් ගැන ඔයාලව දැනුවත් කරන්න” සමන්ලතා ටීචර් ලකිඳුගෙ හැසිරීම් ගැන නොවලහා පැවසුවාය.

එය අසා සිටින ලකිඳුගේ පියාගේ දෙනෙත්වලට කඳුළු උනන බව සමන්ලතා ටීචර් දුටුවාය.

“ටීචර් මං හරිම අසරණ වෙලා ඉන්නෙ. අපි බැන්දේ ටිකක් වයස පහුවෙලා. මේ දරුවා ලැබුණෙත් පහුවෙලා.

බඳිනකොට එයා ටීචර් කෙනෙක්. පරිපාලන විභාගෙ ලියලා පාස් වෙලා, ඒකෙන් ඉහළටම ගිහින් දැන් එයා ප්‍රාදේශීය ලේකම්වරියක්. එයා හැමදේම කරන්නේ එයාගේ තනි කැමැත්තට. බැඳපු දා ඉඳලාම එහෙමයි.

මං හරිම මානසික පීඩනයකින් එදා ඉඳලම හිටියෙ. පඩිය ගෙනාවත් සතයක් අඩු නැතිව එයාගෙ අතට දෙන්න ඕන.

රු. 10 ක් අඩු වුණත් මාසයක් මා එක්ක රණ්ඩු කරනවා. එයා තමයි හැමදේටම ගාණට සල්ලි දෙන්නේ. මුලදි මුලදි මටත් කේන්ති ගියා. රණ්ඩු කළා.

ඒත් දරුව ලැබුණට පස්සෙ දරුව ගැන හිතලා එයාට ඕන විදියට ඉන්න දීලා මං නිහඬ වුණා. මේ දරුවට අම්මයි, තාත්තයි වත් ඉන්නවනේ කියලා ඉවසගෙන එක වහලක් යට ඉන්නවා. මේ දරුවා නැත්නම් මං මෙලහකටත් මහණ වෙලා.” “ ලකිඳුගෙ අම්මගෙ ප්‍රචණ්ඩකාරී හැසිරීම් තියෙනව ද?”

“ඔව් ටීචර්. එයාට තරහ ගියාම අතට අහුවෙන දෙයින් දමල ගහනවා. පිඟන් කෝප්පවලින් පවා ගහනවා. මේ ළමයත් අම්මට පුදුම බයක් තියෙන්නේ. දවසකට වචන 2, 3කට වඩා අම්මා එක්ක කතා කරන්නේ නෑ.

දැන් තමා මට තේරෙන්නේ අපි හිතුවෙ නැති වුණාට මේ තත්ත්වය දරුවට කොතරම් බලපාලද කියලා”

“ලකිඳුගෙ තාත්තේ, ගෙදරදි ලකිඳුගේ හැසිරීම කොහොම ද?”

“කොහොමත් ලකිඳු නිහඬ ළමයෙක් ටීචර්. ගෙදරදි පැත්තකට වෙලා පොතක් බලනවා ඇරෙන්න වෙන දේවල් කරන්නෙ නෑ”

“දැන් තමයි ලකිඳුගෙ තාත්තේ ලකිඳුගෙ මේ තත්ත්වයට හේතුව හරියටම පැහැදිලි වුණේ. අම්මා, තාත්ත තමයි දරුවකුගේ පෞරුෂය හැදෙන්න අනිවාර්යයෙන්ම බලපාන්නේ. ගේ ඇතුළේ දකින, අත්විඳින දේවල් තමයි ඔවුන්ගේ පැවැත්මට බලපාන්නේ.

ගෙදර දි අත්විඳපු දේවල් හින්දා ලකිඳුගෙ හිතේ ගැහැනු ළමයි ගැන බයක් නිර්මාණය වෙලා.

අනික තාත්තා අම්මට දක්වන අවනතභාවය දැකල ලකිඳුත් නිතරම ගැහැනු ළමයින්ට ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්න පුරුදු වෙලා. ඒත් මේක එයාගෙ අනාගතයට ලොකු ගැටලුවක්. උසස් අධ්‍යාපනයේ දී වගේම රැකියාවක් කරද්දිත් විශේෂයෙන්ම පවුල් ජීවිතයේ දීත් අනිවාර්යයෙන්ම ලකිඳුට ගැටලුවලට මුහුණදෙන්න වෙනවා”

“අනේ ටීචර්, අපි දැන් මොකද කරන්නේ”

“මේ තත්ත්වයෙන් දරුවා ගලවාගන්න නම් අම්මගෙයි, තාත්තගෙයි දෙන්නගෙම උදවු ඕන. දෙන්නත් එක්ක ඉක්මනින්ම ඇවිත් මාව හමුවෙන්න. මං ලකිඳුගෙ අම්මට කතා කරන්නම්”

සමන්ලතා ටීචර් ලකිඳුගේ මවට තත්ත්වය පැහැදිලි කරදීමෙන් අනතුරුව සියල්ලන්ම පවුල් උපදේශන සේවයකට යොමු කළේය. අවුරුද්දක පමණ මනෝප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමෙන් ලකිඳු ටිකෙන් ටික සාමාන්‍ය ගතිපැවැතුම් ඇති දරුවකු බවට පත්විය. ලකිඳුගේ මවගේ දරුණු ගතිපැවැතුම් දුරුවී යහපත් බිරියක, මවක බවට පත්විය. එමඟින් ලකිඳුගේ පියා සහ මව අතර තිබූ දුරස්ථබව, ගැටලුකාරී තත්ත්වය මඟහැර ගැනීමට ද හැකි විය.

පසු සටහන

පුතකු, කුඩා කල සිටම සිය පියා දෙස බලා තම පෞරුෂය ගොඩනඟා ගන්නා අතර දුවක, තම මව දෙස බලා ඇගේ පෞරුෂය ගොඩනඟා ගනී. එසේම මවුපිය භූමිකා දුර්වල වූ විට බිඳ වැටෙන්නේ තම දරුවාගේ පෞරුෂත්වය බව මාපියන් නිරතුරුව සිහියේ තබාගත යුතුය.

ගුරු ජීවිතයේදී ඇසූ පිරූ අත්දැකීම් ඇසුරින් ඔබේ තෙවැනි ඇස දල්වාලනු පිණිස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ හා මැදිරිගිරිය ජාතික පාසලේ හිටපු විද්‍යා ආචාර්ය, ප්‍රවීණ විද්‍යා දේශක හා ලේඛක

වසන්ත විරාජ් මහතාගේ ඉදිරිපත් කිරීමකි.

නාමලී ගමගේ