ළමා හිංසනය අපචාරවලට පමණක් සීමා වී නෑ

දෙසැම්බර් 19, 2018

විභාගය අවසන්. මාපියන් දූ දරුවන් සමඟ විනෝද ගමන් යන සැහැල්ලුවෙන් සතුටින් සිටින කාලය උදා වෙලා. මාපියන් දෑස්වලටත් වඩා අවධානයෙන්, ආදරයෙන්, ආරක්ෂාවෙන් දූ දරුවන් රැක ගන්නවා. එහෙත් සමහර අවස්ථාවල අවධානය, ආරක්ෂාව ගිලිහී යනවා.

ළමා අපචාර අනාරක්ෂිත දරුවකුට මුහුණපෑමට සිදුවන අමිහිරිම අත්දැකීමක්. එය මරණයටත් වඩා දරුණුයි. දියණිය පුතුටත් වඩා අපචාරවල ගොදුරු බවට පත් වෙනවා. විශ්වාස කළ නොහැකි සත්‍ය නම් අපේ දූවරුන් වැඩිපුරම හිංසනයට ලක් වෙන්නේ තමන්ගේම නෑ හිත මිතුරන්ගෙන්. ඇතැම් විට පවුලේම සාමාජිකයකුගෙන් වීමයි. දූ දරුවන්ට අල්පමාත්‍රයකිනිදු ආරක්ෂා කරගත යුතු ශරීර අවයව ගැන අවබෝධයක් ලබා නොදීම ආරක්ෂාවීමේ උපක්‍රම කියා නොදීම මීට ප්‍රධාන හේතුවක්. හේතුව කුමක් වුවත් මෙය දරුවාගේ මුළු අනාගතයටම බලපානවා.

අපචාරයක් සිදු වන්නේ හොර රහසෙයි. දරුවා ලජ්ජාව බිය නිසා සිතේ සඟවා ගන්නා අමිහිරි අත්දැකීම ඔහුගේ / ඇයගේ මුළු ජීවිතයම කැළැල් කරනවා.

අපචාරයට ලක් වූ දරුවකුගේ මනස ව්‍යාකූලයි. තමන් අනාරක්ෂිත බව දරුවාට දැනෙනවා. එය නතර කිරීමට නොහැකිවීමේ කෝපය, පසුතැවිල්ල නිසා නිරන්තරයෙන් පීඩා විඳිනවා. දරුවාගේ ආත්ම විශ්වාසය බිඳී යනවා. ඇතැම් දරුවන්ට කම්පනය නිසා සිදු වූ සියල්ල තත්පර කීපයකට හෝ සති ගාණකට අමතක වී යනවා. දරුවකු අපචාරයට ලක් කිරීම පමණක් නොව එවැනි බියජනක අත්දැකීම් ඇසින් දුටු සාක්ෂිකරුවකු වීම ද මෙවැනි තත්ත්වයකට මඟ පාදනවා.

* අතුරු ලක්ෂණ අපචාරයට ලක් වූ දරුවකුගෙන් තවත් ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා.

* භයානක හීන

* කෑම අරුචිය, කෑම බීම ප්‍රතික්ෂේප කිරීම ගිලීමේ අපහසුතාවක් ඇතිවීම

* සිතේ ස්වභාවයේ වෙනස්කම් සිදුවීම (විටෙක දරුණු වීම, විෂාදීය ලක්ෂණ ඇතිවීම, බිය වීම, හුදෙකලා වීම)

* එක් එක් වේලාවට එක් එක් මානසික ස්වභාවයන් පෙන්වීම

* කිසිදු හේතුවක් නැතිව හිසරදය හට ගැනීම

* හේතුවක් නැතුව විවිධ උදරාබාධ හට ගැනීම

* තම සිරුර පිළිකුල් කිරීම, අපිරිසුදුව සිටීම

* ඇඟිලි ඉරීම

* වයසට නොගැළපෙන ලෙස ලිංගික විෂයය ගැන වැඩි උනන්දුවක් දැක්වීම

* වැඩිමල් යහළුවන් ඇසුරට පෙලඹිම

* වෙනදා නොලැබෙන තෑගි ලැබීම. එම තෑගි දෙන වැඩිහිටි යහළුවා රහසක් සේ සඟවා ගැනීම

* දරුවා තම රහස් අවයව හෝ වැඩිහිටියාගේ අවයව ඇල්ලිම. තම අවයව පෙන්වීම ආදී බොහෝ ලකුණු දරුවා අපචාරයකට ලක් වී ඇති බවට ලකුණු විය හැකියි.

දරුවන්ට කුඩා වියේ සිටම ආරක්ෂිත වට පිටාවක් තැනීම වාගේම එදිනෙදා සිදුවන සෑම දෙයක්ම පවසන මට්ටමට දරුවා මිත්‍රශිලීව තබා ගැනීමත් මාපියන්ට දරුවන් වෙනුවෙන් ගත හැකි ආරක්ෂක පියවරක්. රහස් පෙදෙස් අල්ලනවා නම් අපහසුවක් දැනෙන ලෙස ආරක්ෂා විය යුතු පෙදෙස් අල්ලනවා නම් එසේ කරන්නේ පවුලේ සාමාජිකයෙක්, නෑයෙක්, පවුලේ මිතුරෙක් හෝ කවුරුන් වුවත් ඒ බව තමන්ට පැවසීමට හැකි තරම් සුහදශීලිත්වයක් මාපියන් දරුවා සමඟ ගොඩනඟා තිබිය යුතුයි.

දරුවන්ට ප්‍රජනක සෞඛ්‍ය දැනුම ලබා දීම අපචාරවලින් වැළැක්වීමේදී ඉතා වැදගත් වෙනවා.

වයස අවුරුදු දෙකක් වන විට බොහෝ දරුවන් තම ස්ත්‍රී පුරුෂභාවය හඳුනාගෙන අවසන්. ඔවුන්ට සිරුරේ අනිත් කොටස් මෙන්ම මෞත්‍ර ලිංගික අවයව ද හඳුන්වා දීම ඉතා වැදගත්. සිරුර තමන්ගේ බවත් ඊට අත තැබීමට අවසර ඇත්තේ මවට පමණක් බවත් අනෙක් අයට අත තැබීමට ඉඩ නොදිය යුතු බවත් කියා දිය යුතුය. වයස අවුරුදු 2 ක් පමණ වූ දරුවකුට මෙය වටහා ගත හැකියි.

* දරුවන් ගැටවරයන් හිංසනයට පත් කරන සයිබර් අපචාර

අන්තර්ජාලය ලොව බොහෝ දෙනකුගේ ජීවිත ජංජාලයක් කර අවසන්. සැණින් ස්මාට්ෆෝන්, ටැබ්, පරිගණක ආදී ඕනෑ ක්‍රමයකින් කෙනකුට සයිබර් අවකාශයට පිවිසීමට පුළුවන්. ලොව ඕනෑම කෙනකු හා සම්බන්ධවීමට ද හැකියාව තිබෙනවා. 2017 දී අන්තර්ජාලය පරිහරණය කළ සංඛ්‍යාව බිලියන 4.2 ක්. ලංකාවේ ජනහනයෙන් 32% ක් අන්තර්ජාල භාවිත කරනවා. 2010 දී පරිභෝජනය 10% ක් පමණ අඩු ප්‍රතිශතයක්.

පෙම්වතා සමඟ සම්බන්ධවීමට පෙම්වතියන් තෝරා ගන්නේම සයිබර් අවකාශයන්. පෙම්වතා ගැන විශ්වාසයෙන් ගැටවර පෙම්වතියන් ඇඳුම් නැති ඡායාරූප පවා යොමු කරනවා. ආදරයෙන් පෙම්වතාට පමණක් ලබා දුන් ඡායාරූප ලෝකය පුරාම සැරිසරන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. සමහරු ගැටවරියට නොකියාම පින්තූර යවනවා. තවත් අය බ්ලැක් මේල් (අවමාන තර්ජන) කරමින් තවත් පින්තූර ලබා ගන්නවා. මෙය ගැටවර යෞවනියගේ ජීවිතයම විනාශ කර දමනවා. ඇතැම් විට පෙම්වතිය ඇඳුම් ඇඳ සිටින සේයාරුව ඇඳුම් නැති සේයාරුවක් බවට පත් කරනවා. මේ අලුත්ම භයානක හිංසනය ගැන ද දරුවා දැනුවත් කළ යුතුයි. දරුවාට අනවශ්‍ය දසුන් පෙන්වනවා නම්, ලිංගික ක්‍රියාවල යෙදෙන පින්තූර පෙන්වා ඒ අයුරින් පින්තූරවලට පෙනී සිටීමට කියනවා නම් දරුවාට කියා අන් කෙනකු ඔහුගේ ලිංගික අවයව අල්ලා ගන්නවා නම්, දරුවාට ලිංගික ඡායාරූප යවනවා නම්, දරුවාගේ පින්තූර ගෙන්වා ගන්නවා නම් ඒ සියල්ල සයිබර් හිංසනවලට ඇතුළත්. මේ ගැන දරුවන් දැනුවත් කළ යුතු අතර සයිබර් අවකාශයට පිවිසෙන දරුවන් ගැන විමසිලිමත්ව සිටීම අන් කවර කාලයේදීටත් වඩා වැදගත් වෙලා. දරුවන් කලාව, ක්‍රීඩාව ආදී බාහිර අංශවල නිරත කිරීම මඟින් අනවශ්‍ය ලෙස සයිබර් අවකාශයට පිවිසීම අවම කළ යුතුයි.

සයිබර් මාරයාගේ ප්‍රබල ගොදුරු බවට පත් වී ඇත්තේ කාන්තා පාර්ශ්වයයි. යුරෝපයේ කාන්තාවන් දස දෙනකුගෙන් එක් අයකු වයස අවුරුදු පහළොව වන විට කිසියම් ආකාරයක සයිබර් ගොදුරක් වෙලා.

දරුවන් සයිබර් මඟින් අපහරණයට ලක් කිරීම වගේම පීඩාවට පත් කිරීම ද සිදු වෙනවා. මාපියන් අන්තර් ජාලය ඔස්සේ දරුවන් හඳුනා ගන්නා මිතුරන් ගැන ද දැනුවත් විය යුතුයි. ඔවුන් විවිධ සමාජ වෙබ් අඩවි හරහා බෙදා හදා ගන්නා දේ ද දැනගත යුතුයි.

පෞද්ගලික ඡායාරුප නොයැවීමට, පෞද්ගලික තොරතුරු ලබා නොදීමට (පදිංචිය වැනි), තර්ජනාත්මක විද්‍යුත් තැපෑල හෝ වෙනත් නුසුදුසු එවීම්වලට ප්‍රතිචාර නොදැක්වීමට දරුවන් පුරුදු කළ යුතුයි. දරුවන් සමඟම අන්තර් ජාලයට මාපියන් යොමුවීම ද ආරක්ෂක පියවරක්.

* ගැහැනු දරුවන් ලියපදිංචි නොකළ හෝටල්, ගෙස්ට් හවුස්, කැරෝකේ අවන්හල්, සම්බාහන මධ්‍යස්ථානවලදී අපචාරයට ලක්වෙන අතර පිරිමි දරුවන් වෙරළබඩ පෙදෙස්වලත්, සංචාරක නිකේතනවලත් ගොදුරු බවට පත් වෙනවා.

* දරුවා වැඩි පැය ගාණක් අන්තර්ජාලය සැරිසැරීම, විශේෂයෙන් රාත්‍රී කාලයේ සැරිසැරීම, නන්නාඳුනන ඇමතුම් ලැබීම, මව පියා නෙපෙනෙන විට පරිගණකය ක්‍රියාත්මක කිරීම, සයිබර් ලොව වල්මත් වන බවට ඉඟිය. මෙවිට මාපියන් විමසිලිමත් විය යුතුයි.

 

උපදෙස් - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන්

මහාචාර්ය අශ්විනි ප්‍රනාන්දු

වෛද්‍ය

නිමාලි විජේගුණවර්ධන

හෑන්ස් බිල්මෝරියා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.