මේ පුරුදු සාමාන්‍ය ද ?

ජනවාරි 16, 2019

තම දරුවා නියපොතු සපා කෑම, ඇඟිලි ඉරීම, හිසකෙස් ගැලවීම ගැන මාපියෝ නිරන්තරයෙන්ම චෝදනා නඟති. මේවා සමාජයීය වශයෙන් නොපිළිගන්නා මුත් දරුවා ඉගෙනගත් ක්‍රියාවන්ය.

මේ පුරුදු සියල්ලම දරුවා තමන්ගේම සැනසීම, නැළවීම පිණිස කරනා ක්‍රියාකාරකම්ය. සමහර දරුවෝ ඒකාකාරී බවින් මිදෙන්නට ද මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරති. කාංසාවට, කෝපයට පත් වූ විට ද මෙසේ කරන්නෝ සිටිති. හේතුව කුමක් වුවත් මෙවැනි පුරුදු කලක් පැවැතිය හැකිය.

මාපියන් කොහෙත්ම අකැමැති මේ පුරුදු නතර කරන්නේ කෙසේද? මෙවන් පුරුදු නතර කිරීම හොඳ නැති බවට සමාජයේ මිථ්‍යා මත ගොඩ නැඟී පවතී. දරුවා කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොලබන පුරුද්දකට ඇබ්බැහි වී සිටී නම් කළයුතු හොඳම දේ ඒ පුරුද්ද නතර කිරීමයි. එහිදී අප දරුවාට වඩා හොඳ සහනයක් ලද හැකි ක්‍රමයක් හඳුන්වා දීමට මතක තබාගත යුතුය. තම කම්මැළිකම, අසහනකාරී අවස්ථා මඟහැරීමට නිසි ක්‍රියාවන්වලට යොමු කරන විට මෙම හැසිරීම් ඉබේටම අඩු වී යයි. එය බෝනික්කෙක්, කොට්ටයක් විය හැකියි. එසේ නැතිනම් තම අපහසුතාව හෝ කම්මැළිකම අනුන්ට වාචිකව ප්‍රකාශ කිරීමත් වැදගත් ය.

ඒකාකාරී බවින් දරුවා හෙම්බත් වී සිටිනවා නම් සතුට ගෙනදෙන පරිසරයක් ලබාදිය යුතුය. ඒකාකාරී බවක් දැනුණු විට දරුවා එක දිගටම රූපවාහිනිය නැරඹීමට, තනිවම සෙල්ලම් කිරීමට ඉඩ තිබේ. දිගින් දිගටම රූපවාහිනිය බැලීම, වීඩියෝ ක්‍රීඩා කිරීම, තනිවම සෙල්ලම් කිරීම ඒකාකාරී බව වැඩි කරයි. මවුපියන්ගේ කාර්යබහුල බව නිසා මෙවැනි ක්‍රියාවලට ඉඩ පෑදෙයි. එදිනෙදා කරන ගෙදරදොර කටයුතුවලට දරුවන් එක් කරගැනීම මඟින් ජීවිතවලට විවිධත්වයක් ලබාදිය හැකිය. කාලය මනාව හැසිරවීම වැදගත්ම දෙයයි.

 

2019/01/16 තරුණි බලන්න