සුව නින්දක් ලබනවාද?

ජනවාරි 23, 2019

අපේ රටේ සංස්කෘතියට අනුව මාපියන් දූ දරුවන් නිදාගන්නේ එකටය. ඇතැම් විට දරුවා උස් මහත් වන තුරු මේ පුරුද්ද අත් නොහැරෙයි.

මෙය හොඳට වගේම නරකටත් හේතු වේ. මින් ඇති වන යහපත් ප්‍රතිඵලයක් නම් දරුවාගේ අවශ්‍යතාවලට ඉක්මනින් උපකාර වීමට පුළුවන් වීමයි. එලෙසම දරුවා සමඟ සමීප වී දෙදෙනා අතර බැඳීම වැඩි දියුණු කරගත හැකි වීම, කතන්දර කියවීම මඟින් දැනුම වැඩි දියුණු කරගැනීමට උපකාරී වීම හොඳ විපාකය. එහෙත් දරුවන් ශක්තිමත් පෞරුෂත්වයකින් යුතු ස්වාධීන අයකු කිරීමට මේ පුරුද්ද බාධාවක් වීමට පුළුවන.

තනිවම නිදාගෙන තනිවම සැනසීමට දරුවා පුරුදු විය යුතුය. දරුවන් සමඟ නිදාගන්නා මාපියන් තනියම නිදා ගැනීමට දරුවන් හුරු කළ යුතුය. එය එක්වරම සිදු නොකර ක්‍රමානුකූලව කළ යුත්තකි.

දරුවා ස්වාධීනව නිදි කරවීම ඇරැඹිය යුත්තේ තොටිල්ලෙනි. මුල සිට දරුවා තොටිල්ලක නිදි කරවිය යුතුය. ඉන්පසු දරුවා වැඩෙත්ම තමන්ගේ කාමරයේම ඇඳක නිදිගන්වා පසුව කාමරයක තනිවම නිදි කිරීමට යොමු කළ හැකිය.

මවට දරුවා නිදාගන්නා තුරු ටික වේලාවක් සිටීමට පුළුවන. ඇඳේම වැතිරී දරුවා සමඟ සිටීමෙන් දරුවාගෙන් ඉවත්වීමට යන කාලය වැඩිවීමට ඉඩ තිබේ. දරුවා නිදාගන්නා තුරු ටික වේලාවක් සිට ඉන්පසු පිටවී යා යුතුය. දරුවා ඇඳේ නිදි ගන්වා නින්ද යනතුරු මව හෝ පියා පුටුවක වාඩිවී සිටීම වඩා සුදුසුය. දරුවා රාත්‍රියේ අවදි වී කතා කළොත් මාපියන් ගොස් දරුවා සනසා පැමිණිය යුතුය.

දරුවා රෝගී වීම වැනි විශේෂ අවස්ථාවලදී පමණක් දරුවා සමඟ නිදාගැනීමට ඉඩ තබාගන්න. එවැනි අවස්ථාවක වුණත් දරුවාට සමීපව සිටිමින් රැකගත හැකි නම් ඇඳේම වැතිරී සිටිය යුතු නැත.

“දරුවා කොපමණ වේලා නිදාගත යුතු ද?” මෙය මාපියන් නිතර අසන පැනයකි. දරුවාගෙන් දරුවාට නිදාගන්නා වෙලාව වෙනස් වෙන නිසා ස්ථිර පිළිතුරක් ද නැත. එහෙත් දරුවා එකම වේලාවක නින්දට යොමු කිරීම සුව නින්දක් ලබාදීම මාපියන් ගන්නා වැදගත් පියවරකි. නින්දට පෙර දරුවා උත්තේජනය කරන වීඩියෝ ක්‍රීඩා, ශාරීරික ක්‍රීඩා වැනි කායික උත්තේජන ද ලබා නොදිය යුතුයි. පොත් කියවීම, සංගීතයට සවන් දීම නින්දට පෙර කළ හැකි හොඳම ක්‍රියාකාරකම් ය.දරුවාට නින්ද නොයනවා නම් අඩ අඳුරේ ( කාමරයේ විදුලි එළි අඩුකර ඩිම් ලයිට්) දරුවා සංගීතයට සවන්දීම වැනි ක්‍රියාකාරකමක යොදවන්න. නිදන ඇඳ ඇත්තේ නිදාගැනීමට පමණි. වෙනත් කිසිදු ක්‍රියාකාරකමකට නොවේ. මෙය වැඩිහිටියන්ට වාගේම පොඩ්ඩන්ට ද පොදුය. ඇතැම් දරුවන් පාසලේ දී දුන් ගෙදර වැඩ කරන්නේ, රූපවාහිනිය නරඹන්නේ, ආහාර ගන්නේ ඇඳ මත සිටය. වැඩිහිටියකු වූ පසුව ද එබඳු දරුවකු නිදන ඇඳ නින්දට පමණක් නොව රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවලට ද යොදාගනී. එය සුවදායක නින්දකට බාධාවක් විය හැකියි.

2019/01/23 තරුණි බලන්න