සෑම දරුවෙකුටම අනඟි මුතුමිණකි

ජනවාරි 30, 2019

ළමා ලිංගික හිංසනය වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල පොදු සමාජයීය හා සෞඛ්‍යය ගැටලුවක් බවට පත්වී තිබේ. මේ වන විට එය ශී‍්‍ර ලංකාවට ද සැලකිය යුතු තරමින් බලපා ඇතැයි අපි පසුගිය ලිපියක සඳහන් කළෙමු.

ලෝක සෞඛ්‍යය සංවිධානය හා සේව් ද චිල්ඩ්රන් පදනම මඟින් කරන ලද සමීක්ෂණවලින් එය සනාථ වී තිබේ. ළමයින් හා යෞවනයන් ලිංගික හිංසනයෙන් වළක්වා ගැනීම උදෙසා මවුව්පියන්, භාරකරුවන් හා පුහුණුකරුවන් දැනුවත් කිරීමේ අරමුණින් සේව් ද චිල්ඩ්රන් ආයතනය මඟින් උපදෙස් හා පණිවුඩ අඩංගු ප්‍රකාශනයක් නිකුත් කර ඇත. ළමා ලිංගික හිංසනයෙන් ඔබේ දරුවා ද ආරක්ෂා කර ගැනීමට එම ප්‍රකාශනයේ සඳහන් පහත දැක්වෙන උපදෙස් හා පණිවුඩ ඔබටත් වැදගත් වනු නිසැකය.

ළමා ලිංගික හිංසනය යනු කුමක් ද? එය සිදුවන්නේ කුමන වයස් කාණ්ඩවල ළමයින්ට කවර ආකාරයෙන් ද? හා එහි අනිසි ප්‍රතිඵල යන කරුණු පසුගිය ලිපියෙන් අපි ඉදිරිපත් කළෙමු. කුඩාම දරුවාගේ පටන් තරුණ වියට එළැඹෙන තුරුම ඔබගේ දියණිය හෝ පුතුගේද ආකරක්ෂාව සැලසීම ඔබේ යුතුකමයි. දරුවකු යහපත් පුරවැසියකු බවට පත්වන්නේ ආහාරපාන, අධ්‍යාපනය, ආදරය හා රැකවරණය ද සමව ලද කල්හිය.

වයස අවුරුදු 2 -3 අතර දරුවන්

වයස අවුරුදු 21/2 -3 අතර කුඩා වියේදී පටන්ම ඔබේ දරුවාට තමන්ගේ ලිංගික අවයව තමාට පමණක් අයත් වූවක් බව ආදරයෙන් පහදා දෙන්න.

ස්නානය කරන විට හෝ මළමුත්‍රා පහකරන විට යට ඇඳුම් ගැලවීම හෝ ඇන්දවීම මෙන්ම පිරිසුදු කිරීමට ද අවසර ඇත්තේ තම මවට, ආච්චි අම්මාට හෝ රැකබලාගන්නා සමීපතම අයකුට පමණක් බවත් දරුවාට පහදා දෙන්න.

වයස අවුරුදු 4-8 අතර දරුවන්

මේ ඔබේ දරුවා පෙර පාසලට, පාසලට හෝ වෙනත් බාහිර පන්තිවලට නිවෙසින් බැහැරව යන එන අවධියයි.

ඇතැම්විට ඔබ ඔවුන් රැගෙන යාම පාසල් වෑන් රථවලට, ත්‍රීරෝද රථවලට හෝ වෙනත් පුද්ගලයකුට බාරදී තිබෙන්නට පුළුවන.

මේ පුද්ගලයන් ඔබ හොඳින් දැන සිටිය යුතු අතරම දරුවාට ද ඔවුන් හඳුන්වා දිය යුතුය. කොතරම් දැන හැඳින සිටියද ඔවුන්ට තම පුද්ගලික අවයව ස්පර්ශ කිරීමට, සිපගැනීමට හෝ ස්පර්ශ කිරීමට අවසර නැති බව දරුවාට පහදා දෙන්න.

එවැනි ක්‍රියාවක් සිදුවුවහොත් අනිවාර්යයෙන්ම නොපැකිල එය ඔබට හෝ ගුරුවරයාට පැවැසිය යුතු බවත්, එවැනි දේට ඍජුවම අකමැත්ත පළ කිරීමට බිය නොවන ලෙසත් දරුවාට කියාදෙන්න.

මෙසේ දැනුවත් කිරීමේදී ලිංගික හිංසනය පිළිබඳ රූපමය උපදෙස් අවශ්‍ය නොවන අතර දරුවන් තුළ බියක් ඇති නොවන ආකාරයට ඒවා පහදා දිය යුතුය.

අවුරුදු 9-13 අතර දරුවන්

හිංසනයක් සඳහා අවදානමක් ඇති පරිසරයකින් දරුවා ඈත්කර තැබීම ඔබේ වගකීම වේ.

නොදන්නා පුද්ගලයන් වෙත දරුවා බාර කිරීම, තනි වැඩිහිටියකු සමඟ රාත්‍රී ගතකිරීමට දරුවන් යොමු නොකිරීම මෙන්ම දරුවන් කෙරෙහි අනිසි කැමැත්තක් ඇති වැඩිහිටියන් සමඟ තනිවීමට හෝ ඔවුන්ගෙන් තෑගි බෝග ලබාගැනීමට දරුවනට ඉඩ නොතැබිය යුතුය.

දරුවා තමාට මෙන්ම ඔබට ද ඉතා වටිනා බව පහදා දෙමින් ඔහු තුළ ආත්ම විශ්වාසය ගොඩනඟන්න.

අනිසි ආකාරයේ බලපෑමක් වේ නම් නොපමාව ඔබ දැනුවත් කැරන්නැයි දරුවාට කියන්න.

යමක් සිදුවන්නට පෙර ඉන් ගැලවීමට හැකි ආකාරය ඔවුන්ට වටහා දෙන්න.

මේ වයසේ ළමයින් වැඩිවිය පැමිණෙන අවිධිය වන හෙයින් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි කායික ආකර්ෂණයක් ඇති විය හැකිය.

ලිංගික අවයව වර්ධනය හා ඒවායෙහි වෙනස්කම් පිළිබඳ ඔවුන් තුළ ඇතිවන කුතුහලය සංසිඳුවා ගැනීමට තැත් කිරීමෙන්ද අත්හදා බැලීම් කරන්නට යාමෙන්ද ඔබේ දරුවා අසහනකාරී පුද්ගලයන්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ තිබේ.

එහෙයින් ලිංගික අවයවවල වර්ධනය, ක්‍රියාකාරීත්වය හා අවධානය ගැන නිවැරැදි දැනුම මේ වයසේ ළමයින්ට ලබාදීම ඉතා වැදගත්ය.

උත්සව අවස්ථාවල, අමතර පන්තිවලින් පසුව හෝ ක්‍රීඩාගාරවල ගුරුවර, වැඩිහිටි අධීක්ෂණයකින් තොරව දරුවාට තනි වීමට ඉඩ නොතැබිය යුතුය.

 

වයස අවුරුදු 14-18 අතර දරුවන්

යෞවනය විසිතුරුය. කුතුහලයෙන් යුතුය. මේ වයසේ දරුවන්ට නිවැරැදි ලිංගික තොරතුරු හා සමාජ ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් ලබාදීම මවුපියන් වන ඔබේ වගකීමයි.

ළමා වියෙන් පිටමං වන ඔබේ දුව, පුතා වඩාත් නිදහස් ස්වාධීන ලෝකයක් පතා අරගල කරන්නට එළැඹෙන අවධිය මෙයයි.

එකල ඔබ ඔවුන්ගේ සිතැඟි හඳුනාගෙන මිතුරු වෙසින් ඔවුන්ගේ හදවත්වලට සමීප විය යුතුය.

මත්වතුර, දුම්වැටි, ලිංගික උත්තේජක, ඡායාරූප, සමාජ ජාල වෙබ් අඩවි, සයිබර් තාක්ෂණය හරහා සිදුවිය හැකි අනතුරු වැනි පුළුල් පරාසයක දැනුම හා තොරතුරුවලින් ඔබේ දරුවා සන්නද්ධ කළ යුතුය. ඉහත සිදුවීම්වලින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ දරුවන් දැනුවත් කළයුතුය.

ඔබේ දරුවන් මිතුදම් ඇති කරගත යුත්තේ කා සමඟ ද? ඇසුරු කරන්නේ කවුද? ඔවුන් යන එන තැන් මොනවා ද? ගනුදෙනු කරන්නේ කා සමඟ ද ? වැනි කරුණු පිළිබඳ මවුපියන් ලෙස ඔබ දැනුවත්ව සිටිය යුතුය. දරුවන්ට උපදෙස් දීමේ දී ඔවුන් තේරුම් ගෙන විශ්වාසවන්ත මිත්‍රශීලී ස්වරූපයෙන් එය කළයුතුය.

දරුවන්ට සැරවැර නොකර, දරුවාගේ අදහස් විමසමින් ඔවුන්ගේ මතයටද ගරු කරමින් කටයුතු කිරීමෙන් දරුවා තුළ ඔබ කෙරෙහි ඇති සෙනෙහස ද විශ්වාසය ද වර්ධනය වේ.

එවිට දෙමවුපියන් තරම් තමාට ආදරය හා රැකවරණය සලසන වෙනත් කෙනකු මෙලොව නැති බව ඔවුනට වැටහෙනු ඇත. එවැනි දරුවෝ අනිසි සබඳතාවලට යොමු නොවෙති.

 

2019/01/30 තරුණි බලන්න