උනන්දු කර වන්නේ කොහොමද?

ජනවාරි 30, 2019

මවුපියන් දූ දරුවන් හා කරන තවත් අරගලයක් වන්නේ තම බලාපොරොත්තු ඉටුකරගැනීමට ඔවුන් උනන්දු කරවීමයි. ඉගෙනීමේ වැඩ, ක්‍රීඩා හෝ එදිනෙදා වැඩ මේ කුමන වැඩක් සඳහා වුවත් දරුවා උනන්දු කරවීමේ දැවැන්ත කාර්යය භාරය පැවරී ඇත්තේ මාපියන්ටය.

"ඔයාට ඕන ලොකු වුණාම හොඳ රස්සාවක් කරගෙන වැදගත් විදියට ඉන්න නෙවෙයිද? මේ විදිහට හැදුණොත් ඉතින් හිඟාකන්න තමයි වෙන්නෙ." තමන්ගේ ඉලක්ක සැබෑ නොවන විට මාපියන් පවසන්නේ එලෙසයි. දරුවා උත්තේජනය කිරීමට එසේ අනාගතයේ සිදු වන දේ පැවසීමෙන් වැඩක් නැත. කළයුත්තේ දරුවා අදාළ කාර්යය කෙරෙහි උනන්දු කිරීමයි. එලෙසම දරුවාගේ සිත සතුටු කිරීමට රතු තරු ලකුණක් දීම වැනි කුඩා තිළිණයකින් වඩාත් උනන්දු කරවීමයි.

දරුවා කැමැති අකැමැති දේ ගැන මාපියන් හොඳ අවබෝධයකින් සිටිය යුතුය. රූපවාහිනිය නැරඹීම වැනි ළමයා කැමැති දෙයකින් අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමට දරුවා උත්තේජානය කිරීම උපක්‍රමශීලී මාපියන්ගේ ලක්ෂණයයි. ඉලක්ක හා කැමැති දේ එකට සම්බන්ධ කර ගැනීම ඉතා ප්‍රතිඵලදායකය. එහෙත් සමහර මාපියන්ට දූ දුරුවන් කැමැති අකැමැති දේ ගැන අවබෝධයක් නැත. පැහැදිලිව දරුවා කැමැති දේ ඉලක්කය සම්පූර්ණ කළ විට දීම වැදගත්ය. උදා: පාඩම්වල යෙදුණු පසු බයිසිකලය පැදීමට දීම. දරුවන් කැමැති දේ දැන නොගැනීම අවාසියකි. ඉලක්ක සපුරා ගත නොහැකි දරුවාට කැමැති දේ අත්දකින්නට ඉඩක් ලබා නොදිය යුතුය. එවිට දරුවා කෙසේ හෝ තමන්ට පවරා ඇති ඉලක්කය සපුරාගැනීමට වෙහෙසෙයි. මෙහිදී තම සීමාවන් ගැන මාපියන්ට හොඳ අවබෝධයක් තිබිය යුතුය. දරුවාගෙන් අවශ්‍ය දේ නොලැබෙන්නේ නම් ඔහු/ඇය කැමැති දේ ලබාදීමෙන් කරන්නේ ද වරදකි.

මේ ඉලක්ක සඳහා දරුවන්ට කාල වේලාවක්දීම ද වැදගත්ය. පමා නොවී යමක් කිරීමට මෙසේ ළමා වියේදීම කලට වේලාවට වැඩ කිරීම උපකාරි වේ. පවුලේ සාමාජිකයන් සියලු දෙනාම එකම මතයක සිටීම වැදගත් වේ. එක් අයකු හෝ ලිහිල් බවක් පෙන්නුවොත් උත්සාහය අසාර්ථක වේ. විස්කෘත පවුල්වල, ආච්චි, සීයා වැනි විශාල සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පවුල්වල මෙසේ සිදුවනු දක්නට ලැබේ. බොහෝ ආච්චිලා, සීයලා මුනුබුරු, මිනිබිරියන් වැරැදි දෙයක් කළත් එපා කියන්නට පසුබට වෙයි. එයින් දරුවාට සිදු වන්නේ නරකකි. අවැඩකි.

දරුවාගේ සාර්ථකත්වය රතු තරු ලකුණින්, තෑග්ගකින්, වචනයෙන් අගය කිරීම දිරිමත් කිරීම ඉතා වටින්නේය. එවිට දරුවා දිගටම සාර්ථකත්වය පවත්වාගෙන යයි.

හොඳ හැසිරීම් අගය කෙරෙන විට දිගින් දිගටම යහපත් හැසිරීම් රටාවක් පවත්වා ගැනීමට දරුවා උනන්දු වේ. දරුවාට ඉලක්ක කරන කාර්යයන් චිත්‍ර සහිව හෝ පාට පාට අකුරින් ලියා ලොකුවට නිවෙසේ හොඳින් ඇස ගැටෙන තැනක තැබීමෙන් ද දරුවාගේ මතකය අලුත් වේ. උදා: පාසල් ගොස් පැමිණි පසු කෑම පෙට්ටිය සේදීම.

 

2019/01/30 තරුණි බලන්න