දරුවන්ගේ හිංසනය වැළැක්වීමට වැඩි තැනක්

මාර්තු 6, 2019

ශ්‍රී ඇයගේ මඳහස කාන්තාවගේ සිරියාවන්තභාවයේ කැඩපතයි. ඇයගේ වදන් පෙළ නැලවිලි ගීයක් බඳුය. ඇයගේ ස්පර්ශයෙන් ගලක් වුව ද මොලකැටි වෙයි.

ඇයගේ බැල්ම දයාවේ උල්පතයි. කාන්තාවක යනු මේ සුවිශේෂී ගති ලක්ෂණයන්හි එකතුවයි. එය එසේ නම් ඇයට එරෙහිව පුද්ගලයකු දෑත් ඔසවන්නේ කෙසේද? හඬ රළු කරන්නේ කෙසේද? හිංසනය අද ලෝකයේ කාන්තාවන් බහුතරයක් අත්දකින්නකි. අවාසනාවකට ඇය ද ගුරු මාතාවක වූ විට පන්තියේ දරුවන් හිංසනයට ලක් කරන පුවත් වරින්වර අසන්නට දකින්නට ලැබෙයි. ඇතැම් ගුරු මාතාවන් පමණක් නොව ගුරු පියවරුන් ද මේ ගණයට අයත් වෙයි. දරුවකු දැරියක හිංසනයට පත් කිරීමෙන් ඒ දරුවා ජීවිතාන්තය දක්වාම භීතිකාවට පත් වූ අයකු වීමට හෝ අන් අයට හිංසා කරන්නකු බවට පත්වීමට ඉඩ තිබේ. ඔහු කාන්තා හිංසකයකු විම ද වැළැක්විය නොහැකිය.

මවගේ උණුසුමෙන් මිදී දරු පැටියා යන්නේ ගුරු මෑණියන්ගේ සෙනෙහසේ නවාතැන වූ පාසලටයි.

වේවැල් කෝටු නාරං සියඹලා අතු
මෙහෙම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු

යන්න දරුවාගේ පැතුමයි. එපමණක් නොව ඊට ද වඩා දරුවා කැමැති ගුරුවරිය වදන්වලින් එල්ල කරන ප්‍රහාරයන් නොඇසෙනවා නම්ය. කෙනකුට කායිකව ඇතිවන තුවාලවලට ප්‍රතිකාර කිරීම බොහෝ විට පහසු වුව ද මානසිකව ඇතිවන තුවාලවලට ප්‍රතිකාර කිරීම ඉතා අසීරුය. හා හා පුරා කියා පළමුවරට පාසල් යන දරුවන් කී දෙනෙක් නම් ගුරු මෑණිවරුන්ගේ කෲර ගති පැවතුම් නිසා පීඩාවට පත් වෙනවාද? මේ ළමයා දඟ වැඩියි කියා පළමු දවසේම විදුහල්පතිනිය ළඟට දරුවා රැගෙන යන ගුරුවරියන් ලංකාවේ විරල නැත. අලියන්ට ළමයින්ට දඟලන්නටයි හිත යන්න පවා නොදන්නා ගුරුවරුන් ගුරුවරියන් ද සිටීම මේ ධර්ම රාජ්‍යයේ පුදුමයට කරුණකි.

සමහර ගුරුවරියන් දරුවන්ට ඉගෙන ගන්නා දේ අමතක වන තරමට අවමන් වන ලෙස කතා කරයි. 'මෙයා හදන්න බෑ, හරිම මුරණ්ඩුයි' 'කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ' 'මේ ළමයා නිසා අනිත් ළමයින් නරක් වෙනවා' මෙසේ කියන, ළමයා නිතර පිටුපස පේළියට දමා නොසලකා සිටින හෝ ඉදිරිපස පේළියට දමා සැර වැර කරන ගුරුවරුන් ද, ගුරුවරියන් ද හෝඩියේ පන්තියේදී හමු වෙයි. එවන් එක් දරුවකුට පාසලේදී ගුරුවරිය දෙන ප්‍රශ්න පත්‍රය කිරීමට නුපුළුවන් විය. එහෙත් ඒ දරුවා නිවෙසේදී ඒ ප්‍රශ්න පත්‍රය නිවැරැදිව කළේය. හේතුව වූයේ ගුරුවරිය ඉදිරියේ දරුවාට උගත් සියලු දේ අමතක විමයි. නුගේගොඩ ඉතා ජනප්‍රිය බාලිකා පාසලක උගන්නා මේ දැරියට පළමු සහ දෙවැනි වසර දෙකේදී හමු වූයේ ඒ කුරිරු ගුරුවරියමයි. ඒ මුල් දෙවසරේදීම ඇයගේ අධ්‍යාපනයට කණ කොකා හැඬුවේය. ඇයට ඉගෙනුම ගැන ආසාවක් ඇති වූයේ තෙවැනි වසරට ගිය පසුවයි.

2017 වසරේදී ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යයනයකින් හෙළි වූ දත්ත අනුව එක් පාසල් වාරයක් තුළ සිසුන් 80% කට ශාරීරික දඬුවම් හා 53% දෙනකුට ශාරීරික අපයෝජන සිදුවන බව වාර්තාවේ.

 

තරුණි 2019/03/06 බලන්න. 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.