අම්මලාගේ විභාගය අවශ්‍යම ද?

අප්‍රේල් 3, 2019

අපේ දරුවන් මහමෙරකට වැඩි බරක් හිස දරා වයස අවුරුදු දහය ලබද්දීම වාඩිවන විභාගය ශිෂ්‍යත්වයයි. මෙය සමත් කඩඉම් ලකුණ ලබන්නට අසීරුතම විභාගය බව නොරහසකි.

ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ පසුකරන සෑම ළමයකුටම ශිෂ්‍යාධාර හිමිවන්නේ නැත. ශිෂ්‍යත්ව විභාගය සමත් වුවත් වැඩිම ලකුණක් නොලැබීමේ හේතුවෙන් ජනප්‍රිය පාසල් සිහිනය ද සැබෑ නොවිය හැකියි. දරුවන්ට ළමාවිය අහිමිකරන මේ අරුමැසි විභාගය අම්මලා ද දැඩි මානසික පීඩනයකට ඇද දමා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාව පරිදි රජය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කර තිබෙන පුවත වාර්තා වූයේ ඉකුත් සතියේදී ය. මේ වන විට ඒ තීරණය පිළිබඳ විවිධ මත පලවෙමින් තිබේ.

සැබැවින්ම ශිෂ්‍යත්ව විභාගය අපේ දරුවන්ව යහපත් අනාගතයක් වෙත එතෙර කරවන්නේ

ද ? අපි කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය ධනාත්මක චින්තන සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දයා රෝහණ අතුකෝරාළ මහතාගෙන් විමසීමු. මේ ඒ පිළිබඳ එතුමා දක්වන විද්වත් අදහසයි.

ශිෂ්‍යත්ව විභාගය දැනට අපේ රටේ පවතින තරගකාරී විභාගවලින් එකක් වනවා. අවාසනාවකට අප එහි අරමුණ විකෘතිකරගෙන. සී. ඩබ්ලිව්. ඩබිලිව්. කන්නන්ගර අධ්‍යාපන ඇමැතිතුමා ‘ශිෂ්‍යත්වය‘ ඇති කළේ අපේ රටේ ඉතාම දක්ෂ දිළිඳු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හොඳ පහසුකම් සලසා දෙන්නටයි.

දුප්පත්කම අධ්‍යාපනයට බාධාවක් නොකර අපේ රටට විශිෂ්ට බුද්ධිමතුන් බිහිකිරීමේ අරමුණින් ලංකාව පුරාම ආරම්භ කළ මධ්‍ය විද්‍යාලවලට ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ට ඇතුළත්වීමේ අවසථාව සැලසුණා. මේ අතරේ ප්‍රසිද්ධ යැයි සමාජ සම්මත පාසල්වලට දරුවන්ට ඇතුළත් වීම සඳහා තවත් ක්‍රමයකින් ඉඩකඩ සැලසුණා. ඒ මේ පාසල්වල පැවැත්වෙන ඇතැළත්වීමේ විභාගය හරහායි. ශිෂ්‍යත්ව විභාගය අසමත් වුවත් පාසල්වලට ඇතුළත්වීමේ තවත් විභාගයක් පැවතීම නිසා එදා අපේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේ පීඩනය අඩු වුණා.

අද හැම අම්මා තාත්තා කෙනකුම පාහේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න වෙහෙසෙනවා.

මෙහිදී ශිෂ්‍යත්වය දරුවාව හොඳම පාසලකට ඇතුළත්කර ගැනීමට විවර කරගත හැකි දොරටුවක් වනවා.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පන්ති කාමරය තුළදී ශිෂ්‍යත්වයට ලකුණු 75 ක් වැනි සාමාන්‍ය අගයක් ලැබීමට අවශ්‍ය වුණා නම් එහි පීඩනය අඩු වෙනවා. ඒත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්යය වීම නිසා ශිෂ්‍යත්ව විභාගයේ පීඩනය හැම දරුවකුටම උහුලන්න සිදු වුණා.

සාමාන්‍යයෙන් දරුවන්ගේ බුද්ධි වර්ධනය වීමේ අවස්ථා තිබෙනවා. ඒ අනුව දරුවන් බොහොම ටික දෙනකුගේ වයස අවුරුදු 10 - 11 වන විට ව්‍යුක්ති බුද්ධිය වැඩෙන අතර අනෙක් දරුවන්ගේ ව්‍යුක්ති බුද්ධිය වැඩෙන්නේ වයස අවුරුදු 12 - 13 වන විටයි.

මෙය ඇතැම් දරුවන් කලින් ඇවිදින්න පටන් ගනිද්දී තවත් දරුවන් පිරිසක් ප්‍රමාද වී ඇවිදින්න පටන් ගන්නවා වාගේයි. ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ දරුවන් පසුකාලීනව දක්ෂතා දැක්වීමට මෙයත් පැහැදිලි හේතුවක් වනවා. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගය 7 වැනි ශ්‍රේ්ණියේදී පැවැත්වූවා නම් 5 වැනි ශ්‍රේණියේදී අසමත්වන දරුවන් පිරිසකටත් වැඩි ලකුණුවලට එන්න හැකිකම ලැබේවි.

කොහොම නමුත් මොන තරම් පුහුණු කර විභාගයට වාඩි කරවූවත් ශිෂ්‍යත්වයේ කඩඩම් ලකුණු පසු කළ හැකි වන්නේ 16% ක දරු පිරිසකට පමණයි.

ශිෂ්‍යත්වය හොඳම ලකුණකින් සමත්වීමෙන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත්වීමට ලැබුණොත් එහි අභිමානය ඉන් ගොඩ නැගෙන ප්‍රතිරූපය ජීවිතයේ විවිධ අවසථාවලදී වටිනවා. මේ අතරේ ගමේ සිට කොළඹට පැමිණීමෙන් අලුත් පරිසරය දරා ගැනීමට නොහැකිව දරුවන් නොමඟ ගිය අවස්ථාත් තිබෙන බව රහසක් නොවෙයි. ශිෂ්‍යත්ව විභාගයෙන් 85% ක දරුවන් පිරිසක් අසමත් ප්‍රතිඵලයට මුහුණ දිය යුතුයි. සැබැවින්ම ඔවුන් මානසිකව ඇද වැටෙනවා.

ශිෂ්‍යත්වය සඳහා සකස් වූ විෂය නිර්දේශය තුළ දරුවන්ගේ මනසට පටවන්නේ අනවශ්‍ය බරක්. කරුණු ගොඩක් පැටවීම බුද්ධිමය ක්‍රියාවලියක් නොවෙයි. බුද්ධිමය ක්‍රියාවලියකදී කරුණු ටිකක් මඟින් ගොඩාක් තර්ක විතර්ක කිරීම - වාද කිරීම - නිර්මාණ කිරීම ආදිය සිදුවිය යුතුයි.

 

2019/04/03 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.