දරුවා ඉදිරියේ කවදාවත් මේ දේවල් කියන්න එපා

අප්‍රේල් 3, 2019

පුංචි දරුවකුගේ සිතක් තලා පෙළා නොදමමින් උස් මහත් කරන්නට හැකිනම් ඔහු/ඇය බෙහෙවින්ම ප්‍රසන්නය. සාමකාමිය. ඒ පරිසරය ඉඳුරාම දරුවාගේ යහපත උදාකරලන පරිසරයක් බව කිව හැකියි.

දරුවන්ට තරවටු කරමින් හෝ ආදරයට හෝ කවදාවත් නොකිව යුතු දෑ තිබේ.

ඔයා මහා නරක ළමයෙක්, ඔයා තරම් නරක ළමයෙක් මම දැකලා නැහැ.

සෑම දරුවකුම දඟය. අකීකරු ය. සුළු සුළු වෙනස්කම් පැවතිය ද සම වයසේ දරුවන් පිරිසක් ගත්විට ඔවුන්ගේ හැසිරීම් බොහෝදුරට එක සමාන ය. ජීවත්වන පරිසරය අනුව යම් යම් වෙනස්කම් පැවතියත් ඒ සුළු වශයෙනි. එනිසා කිසිම දරුවකු මහා නරක දරුවකු නොවේ.

දරුවා මඳක් වැඩිපුර දඟකාරකමක් හෝ අකීකරුකමක් දක්වන්නේ ඒ ඒ පරිසරයෙන් හා දෙමාපියන්ගෙන් ලැබෙන උත්තේජන මතයි. මේවා දරුවා වැඩෙන විට බොහෝ විට පහව යයි.

දරුවාගේ මනස සෘණ ආකල්පවලින් පුරවන්න එපා. එවිට ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටේවි.

ඇයි ඔයාට බැරි අයියා / මල්ලී / අක්කා වගේ වෙන්න.

කිසිම දරුවකු අනෙක් අය හා සංසන්දනය කිරීම සුදුසු නොවේ. මෙය දෙමාපියන් සහ ගුරුවරුන් තරයේ සිතට ගත යුත්තකි. සංසන්දනය කිරීමෙන් කුඩා කල සිට ඉරිසියාව වැනි දේ ද ඇතිවිය හැකියි. එය සහෝදර බැම්මට බාධාවකි. සෑම දරුවකුම මෙලොවට පැමිණෙන්නේ එකිනෙකාට වෙනස් හැකියාවන්ගෙනි. ඒවා ක්‍රියාවට නැංවීමට දරුවාට අවශ්‍ය ශක්තිය සැපයිය යුත්තේ දෙමාපියන් සහ ගුරුවරුන්ය.

බබාට බෑ ඒක කරන්න

මෙයින් දරුවා තුළ තිබූ දිරිය, උත්සාහය එහෙම පිටින්ම බිඳ වැටේවි. දරුවකුට යමක් කිරීමට බැරි නම් එය පහදා දිය යුත්තේ ඉතා කාරුණිකව ය. නිතරම බැහැ කියනු වෙනුවට දරුවාගේ සිතට ජනිත කළ යුත්තේ ඔයාට පුළුවන යන සිතිවිල්ලයි. එවිට දරුවාගේ ශක්තිය හා පෞරුෂය ද වර්ධනය වේවි.

මා එක්ක කතා කරන්න එපා (දරුවා සමඟ වැඩිහිටියන් උරණවීම)

දරුවා යනු දරුවෙකි. දරුවකු කුඩා වැඩිහිටියක් නොවේ. ‘ඇයි වැඩිහිටියන් මා සමග කතා නොකරන්නේ’ වැනි දෙයක් තේරුම් ගැනීමට තරම් හැකියාවක් දරුවාට නොමැත. තමාට ඉන්නා ළඟම නෑයා, මිත්‍රයා මෙසේ කතා නොකර සිටීමෙන් දරුවාට සමාජය පිළිබඳ අවිශ්වාසයක් ඇති වේ.

ඔයා ගැහැනු ළමයෙක්, ඔයාට මෙහෙම කරන්න බැහැ. ඔයා පිරිමි ළමයෙක් ඔයාට මෙහෙම කරන්න බැහැ

ස්ත්‍රී, පුරුෂ භාවය පිළිබඳ නීතිරීති පැනවීම නුසුදුසු ය. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දරුවාට තමාට කැමැති දේ කිරීමට ඉඩ දිය යුතුය. ඉතා කලාතුරකින් ඇතැම් වෙලාවට ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධව දරුවන්ට අවවාද දිය යුතු අවස්ථා නැතුවා නොවේ. නමුත් එය දරුවාට බාධකයක් ලෙස නොදැනෙන පරිදි සියුම්ව කළ යුත්තකි.

මට පාඩුවේ ඉන්න දෙන්න

බොහෝ වැඩිහිටියන් තමා යම් දෙයකින් පීඩාවට පත්වූ අවස්ථාවක මෙවැනි වචන භාවිත කරයි. තමාට ඇති වේදනාව නිසා මෙවැනි දෑ පිට කළත් දරුවාට එය දරාගත නොහැකි ලෙස ඉවත් කිරීම දරුවා ලැජ්ජාවට පත් වේවි. අසරණ බවක් හැඟීයාවි.

ඉන්නකෝ මම තාත්තා ආවම කියන්නම්

මෙහිදී මව හෝ අදාළ කෙනා කෙරෙහි දරුවාට ඇතිවන්නේ ආවේශයකි. තාත්තා කෙරෙහි ඇති ස්නේහය වෙනුවට භයංකාරී හැඟීමක් ඇති වේවි. භය හා කාංසාව දිගු වේලාවක් පැවතීම නිසා අනාගතයේ දී එය මානසික සෞඛ්‍ය කරා ද බලපාවි.

කිසිම ළමයෙක් ඔයා වගේ නැහැ. මේ වගේ දේවල් කරන්න තරම් ඔයා පොඩි ළමයෙක්ද?

වැඩිහිටියන් පවා විටෙක දී පුංචි දරුවන් කරන කියන දෑ කරයි. දරුවකු තමාගේ වයසට වඩා අඩු මට්ටමේ යමක් කරද්දී, කරන විට එය කෑගසා දඬුවම් දිය යුතු වරදක් නොවේ.

මේ සමගම දරුවන් ඉදිරියේ නො කළ යුතු දේවල් කිහිපයක් පිළිබඳ ද මාපියන් දැනුවත් විය යුතුවේ. නොදැනුවත්ව දැනුවත්ව සිදුවන මේ දේවල් අනිසි ලෙස දරුවාගේ ජීවිතයට බලපෑම් කරාවි.

ප්‍රසිද්ධයේ බැණ වැදීම

තැනක් නොතැනක් නොමැතිව බාහිර පුද්ගලයන්, යහළුවන් ඉදිරියේ දරුවාට බැණ වැදි, සැර කිරීම නිසා දරුවන් ලැජ්ජාවට පත්වේ. පෞරුෂය බිඳේ. මේ නිසා මාපියන් පිළිබඳ දරුවන්ට තරහක්, කලකිරීමක් ඇතිවන්නේ නිරායාසයෙනි. දරුවන් අතින් සිදුවන වැරැදි පෞද්ගලිකව දරුවා සමග කතාබහ කොට සුදුසු දඬුවමක් ලබාදෙනවා විනා සමාජය ඉදිරියේ දරුවා අපහසුතාවට පත් කිරීම නොකළ යුතුයි.

අඹු සැමි ගැටුම්

අඹු සැමි දෙදෙනා තුළ පවතින ගැටලු හේතුවෙන් එකිනෙකාට අගෞරව කරගැනීම, දෝෂාරෝපණය කරගැනීම, චෝදනා කිරීම දරුවන් ඉදිරියේ කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. මෙයද දෙමාපියන් කෙරෙහි ඇති ගෞරවය පාවාදීමකි. දරුවාගේ ආත්මාභිමානය හීන කරවන්නකි.

ද්වේශ සහගත ලෙස සැමියා බිරිය හැරදා ගිය විට දරුවා සමඟ නොකිව යුතු පවුලේ ප්‍රශ්න පවා දරුවාට කිරීමට මාපියන් පෙළඹේ. තනි නොතනියට සිටිනුයේ දරුවා පමණක් වුවත් මාපියන් කියන කරන දෑ ළමා මනසට ඔරොත්තු නොදෙන අන්දමේ ඒවා විය හැකියි.

ගැළපෙන දේ නැරඹීම

දරුවන් සමඟ ඔවුන්ගේ ළමා මනසට නො ගැළපෙන චිත්‍රපට, ටෙලිනාට්‍ය නැරඹීම සුදුසු නැත. දරුවාට නැරඹීම තහනම් කරනු වෙනුවට වැඩිහිටියන් ද ඒ දේවල් කෙරෙන් ඈත්ව සිටීම සුදුසුය.

අන් අය විවේචනය

දරුවන් ඉදිරියේ නෑදෑයන් හිතවතුන්වත්, සැමියා සමඟ පවා අන්අයව විවේචනය කිරීම සුදුසු නැත.

 

උපදෙස්

ළමා හා මාතෘ සෞඛ්‍ය උපදේශිකා, බේබි කෙයාර් ලංකා අධ්‍යක්ෂිකා

ශ්‍යාමලී පතිරගේ