බිලිඳු දරුවාගේ ආරක්ෂාව පිළිබඳ යළි යළිත් සිතන්න

අප්‍රේල් 17, 2019

අපේ අම්මලාට දරු උපතකින් පසු රැකියාවට යළිත් කැඳවුම් ලැබෙන්නේ ළයේ කිරිබර දරා සිටියදීය. රැකියාවක නියුතු නොවූවද ජීවිතයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් කිරිකැටි දරුවන් තවකකුගේ රැකවරණයේ හෝරාවකට හෝ රඳවා තබන්නට සිදුවන අවස්ථා ද ඕනෑ තරම්ය. සැබෑවකි, අතීතයේ දී මෙන් නොව අද අම්මලාට දරුවන් තුරුලේම තබාගෙන සිටින්නට ඉඩහසරක් නැත.

ඔබ යළිත් නිවෙසට එනතුරා ඔබේ දරුවාව වගකීම් සම්පන්න අයකුගේ රැකවරණයට පවරා දී හිතට අස්වැසුම් උපදවාගෙන සිටිනවා විය හැකියි. එනමුදු ඔවුන් සිඟිති දරුවකුගේ ආරක්ෂාව පිළිබඳ සැබැවින්ම දැනුවත් ද? සැබෑම රැකවරණයක් වෙනුවෙන් ඔවුන්ගේ දෙනෙත් දරුවා වෙතම දැල්වී තිබේද? මේ සටහන යළි යළිත් ඒ පිළිබඳ සිතන්නට ඔබේ සිතට බලකරනු පිණිසයි.

සාරතීට දෑසවන් දරු දෙදෙනෙකි. වැඩිමහල් දියණිය පළමු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. බාල පුතු දස මසැති බිලින්ඳෙකි. උගත්කමින් උපයාගත් රැකියාවට ඈ සමුදුන්නේ මේ දරු දෙදෙනාගේ රැකවරණය වෙනුවෙනි. පෞද්ගලික ආයතනයක

කළමනාකරුවකු වූ සාරතීගේ සැමියාට ලැබෙන්නේ සිය පවුල සැප පහසුවෙන් තැබිය හැකි වැටුපකි. ඔහුගේ මව ඔවුන්ගේ නිවෙසේම ජීවත්වීම සාරතීගේ ගෙදරදොර කටයුතු සඳහා පහසුවක් වුණි.

“අම්මේ, පුතාට කිරි දීලා නිදිකරවලා තියෙන්නේ. පුතාව චුට්ටක් බලන්න. මං දුවව ඉස්කෝලෙන් අරගෙන එන්නම්”

මේ දුව පාසල් යන හැම දවසකම සාරතීගෙන් නැන්දම්මාට කෙරෙන ඉල්ලීමකි. එදිනද සාරතී ත්‍රීවීලයක නැඟී දූගේ පාසල වෙත ගියේ පැය භාගයක සිඟිති පුතුව නැන්දම්මාගේ රැකවරණයේ තබාය.

එහෙත් දරුවා අවදිවන්නේ ත්‍රීවීලරය මිදුලෙන් නික්මෙද්දීය. අඩ නින්දෙන් අවදි වී මවු උණුහුම ඉල්ලා අඬන දරුවා නළවා ගැනීම අත්තම්මාට පහසු නැත. ඇය පුංචි සෙල්ලම් කාරයක් සිඟිති අතට දෙන්නේ දරුවා නළවා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි. ඉන්පසුව අත්තම්මා දරුවාව දෙපයේ තබා නළවන්නේ නැවතත් නිදි ගැන්වීමට උත්සාහයක් දරමිනි. සෙල්ලම් කාරය දෑතින් අල්ලා එහා මෙහා පෙරළමින් සිටින දරුවා නින්දට සූදානමක් නැත. එහෙත් කාරය නිසා සිඟිත්තා නැළවී සිටීම අත්තම්මාට අස්වැසිල්ලකි.

ඒ නිසාම තම දෙපය මත සිටින සිඟිත්තා ගැන අත්තම්මාගේ අවධානය මොහොතකට මිදෙන්නට ඇත. ඇයට දෙලොව

රත්වන්නේ ඊළඟ ඇසිල්ලේ දරුවා වෙත ඇගේ දෙනෙත යොමුවන විටයි. ඇස් දෙක විසල් වී හුස්ම නාල්ලන දරුවා අතපය වේගයෙන් ගසන්නේ යම් අනතුරක් සිදුව ඇති බැවිනි.

2019/04/17 තරුණි බලන්න