ඔබේ දරුවාගේ වර්ධනය ගැන අවුරුදු 18 වන තුරුම සැලකිලිමත් වන්න

ජුනි 19, 2019
 
ජුනි මාසය පෝෂණ මාසයයි. සෞඛ්‍යය සම්පන්න ක්‍රියාශීලී ජනතාවක් බිහි කිරීම සඳහා පෝෂණයෙන් ලැබන පිටිවහල පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ අවධානය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඇරැඹුණු පෝෂණ මාසයේ මෙවර තේමාව “මම මගේ ශරීර ස්කන්ධ දර්ශකය ගැන දනිමි හෙවත් දනිමි මගේ ඕර්ධ් යන්නයි”
 
තමාගේ ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් ඕර්ධ් අගය දැන සිටීමෙන් තම වයසට සහ උසට ගැළපෙන ආකාරයෙන් සිරුරෙහි බර අඩුද? වැඩිද? ප්‍රමාණවත් ද යන කරුණ ගැන සෑම පුද්ගලයකු තුළම අවබෝධයක් තිබීම වැදගත්. ඒ, බී.එම්.අයි. අගය වැඩිවීම, අනාගතයේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, අක්මා රෝග මෙන්ම අස්ථි ආබාධ වැනි බරපතළ බෝ නොවන රෝගවලට ගොදුරු වීමට ප්‍රධානතම හේතුවක් වන නිසයි. අධිබර හෙවත් ස්ථූලතාව යනුවෙන් හඳුන්වන්නේ යම් පුද්ගලයකුගේ සෞඛ්‍යයට හානි වන පරිදි අනවශ්‍ය ලෙස සිරුරෙහි මේද තැන්පත් වීමයි. ස්ථූලතාවය හෙවත් අධිබර දැන් රෝගයක් ලෙස සැලකෙනවා. ස්ථුලතාවය ඇරැඹෙන්නේ ළමා වියේ පටන්මයි. බොහෝ විට අධි බරෙන් හෝ දියවැඩියාවෙන් පෙළෙන මවකට ලැබෙන දරුවන් ද  ස්ථූලතාවයට මෙන්ම අනාගතයේදී දියවැඩියාවටත් ගොදුරුවන බව වෛද්‍ය පර්යේෂණ මඟින් හඳුනාගනු ලැබ තිබෙනවා. ස්ථූලතාවයට හේතුවන්නේ පමණට වඩා සීනි, තෙල්, පිෂ්ටය සහ ලුණු අධික ආහාර ගැනීමත් ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොකිරීමත් යන කරුණු. කුඩා වියේදී අඩු බරෙන් යුතු ළමයින්ට පමණට වඩා ආහාර ලබාදීමෙන් හා ප්‍රමාණවත් පරිදි ව්‍යායාම නොලැබීමෙන් ද ස්ථූලතාවයට ගොදුරු වන බව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ළදරු වියේ පටන්ම බරෙන් වැඩි දරුවන් ද අනාගතයේ ස්ථූලතාවයට ගොදුරු වීමට ඉඩ තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා 
ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසනවා.
 
2016 වසරේදී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ මෙරට පාසල් සිසුන් අතරින් 6-12 අතර ශ්‍රේණිවල සිසුන් අතරින් 6.0% ත් අධි බරෙන් යුතු වන අතර ළමුන් 1.9% ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවයි. මෙය බරපතළ තත්ත්වයක්. වර්තමානය වන විට මේ අගය වඩාත් ඉහළ යමින් පවතිනවා. එක් අතකින් ළමයින්ගෙන් කොටසක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. අනෙක් අතට ළමයින් අධි පෝෂණයේ ගොදුරු බවට පත් වෙමින් සිටිනවා. මෙයට හේතුව මන්ද පෝෂිත දරුවන්ට නිසි පෝෂණයෙන් යුක්ත ආහාරපාන ප්‍රමාණවත් තරමින් නොලැබෙන අතර තවතත් කොටසකට පමණට වඩා ආහාර පාන ලැබීමයි. අක්‍රමවත් ආහාර රටාව, සීනි, පිටි තෙල් සහ ලුණු අධික ආහාර පමණට වඩා ගැනීම සිරුරට ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීම, එක තැන බොහෝ වේලාවක් හිඳ සිටින කටයුතුවල නිරත වීම, මානසික ආතතිය වැනි කරුණු ස්ථූලතාවයට හේතු වී තිබෙනවා” යැයි ද මහාචාර්ය වික්‍රමසිංහ පවසනවා.
මෙරට පාසල් දරුවන්ගෙන් 20.7% ක් සතියකට දෙවරක්වත් ක්ෂණික ආහාර ගන්නා බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙන බව සෞඛ්‍යය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂික විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න පවසනවා. ඇය පවසන පරිදි මෙරට පාසල් දරුවන් බොහෝ දෙනකු උදෑසන ආහාරය නොගැනීම මෙන්ම කඩෙන් ගන්නා ආහාර සෞඛ්‍යවත් ආහාර නොවීමත් ස්ථූලතාවයට හේතු වී තිබෙනවා. මෙරට පාසල් දරුවන්ගෙන් 26.6% ක්ම දිනපතා කාබනික, කෘත්‍රිම බීම වර්ග පානය කරන බවත් ඉහත කී සමීක්ෂණයෙන් හෙළිවී ඇතැයි ද වෛද්‍යතුමිය පවසනවා. දිනකට අවම වශයෙන් පලතුරු වර්ග දෙකක්වත් ආහාරයට ගන්නේ ළමයින් අතරින් 32.1% ක් පමණයි. දිනකට එළවළු වර්ග තුනකට වඩා ආහාරයට ගන්නේ ළමයි 35.6% ක ්වන අතර මාසයක් ඇතුළත කිසිම පලතුරක් ආහාරයට නොගත් ළමයින් 7.1% ක් සිටිනවා. එපමණක් නොවෙයි මාසයක් ඇතුළත කිසිම එළවළුවක් ආහාරයට නොගත් ළමයින් ද 1.7% ක් සිටින බවත් එම සමීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා. 
 
 
සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුව ඇසුරිනි)
 
 
2019/06/19 තරුණි බලන්න                  
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.