මතක හිටින්න පාඩම් කරන සැබෑ රහස

ජූලි 3, 2019

“මොනතරම් පාඩම් කළත් මතක හිටින්නේ නැහැ”

විභාගය අභිමුවේ හිඳ මහමෙරක් වැනි දැනුම කන්දරාවක් හිස මතට පටවා ගන්න වෙහෙසෙන දරුවෝ මේ ගැටලුවෙන් පෙළෙනවා. දින, සති, මාස ඉගිලී විභාගය ළංවද්දී ගැටලුව තව තවත් බරපතළ වන බව ඇත්තයි.

රන් හා සමාන සීමිත කාලය තුළදී ඵලදායී පාඩම් කිරීමකට මනස මෙහෙයවන්නේ කොහොමද ? අපේ වෑයම ළහි ළහියේ විභාග සූදානමට වෙහෙසෙන දැයේ දූ දරුවන්ට ජයග්‍රහණයේ සැබෑම මාවත හෙළි පෙහෙළිකර දෙන්නටයි.

පාඩම් කරන්න හොඳම වේලාව

පාඩම් කළයුත්තේ මතක ශක්තිය අවදිව ඇති වේලාවටයි. මේ වේලාව එකිනෙකාට වෙනස් වෙනවා. ඇතමකු නිහඬ නිසසල රාත්‍රී කාලය පාඩම් කිරීමට තෝරා ගන්නවා. තවත් අයකුට හිමිදිරිය පාඩමට යෝග්‍ය විය හැකියි.

මේ අතරේ පහසුවෙන්ම අවදියෙන් සිටිය හැකි දිවා කාලයේ දී පාඩම් කිරීම ඵලදායී යැයි සිතන අයත් ඉන්නවා.

පාඩම් කිරීම සඳහා ඔබට සුදුසු වේලාව තවකකුට තෝරා බේරා දෙන්න බැහැ. නිදිමත ඉක්මනින් ළඟා නොවන පාඩමක් අවබෝධ කරගත හැකි වේලාව ඔබම තෝරාගන්න.

මෙලෙස තෝරාගත් වේලාව තුළ අසීරු ගැඹුරු හොඳින් ධාරණය කරගත යුතු විෂයය කොටස් අධ්‍යයනය කරන්න.

විශේෂ කාල සටහනක්

විභාගය ආසන්නයට පැමිණ ඇති නිසා මේ කාල පරාසය පමණක් විභාග සූදානමට ප්‍රමාණවත් නොවේවි. ඒ නිසා ගණිත ගැටලු විසඳීම, ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීම වැනි ප්‍රායෝගික අධ්‍යයන කටයුතු සඳහා අනෙකුත් කාලයෙන් ද ප්‍රයෝජන ගැනීමට උපක්‍රමශීලී වන්න.

එදිනෙදා වැඩ එදිනෙදාම කළ විට පාඩම් වැඩ ගොඩ නොගැසෙන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා. කොහොම වුවත් විභාගයට ඇති සීමිත කාලය තුළදී ඔබ මුහුණ දෙන සෑම විෂයයක් සඳහාම ප්‍රමාණවත් පාඩම් කිරීමක් සිදු වී තිබිය යුතුයි. එනිසා මේ සීමිත කාලය කළමනාකරණය කරගැනීම ඉතා වැදගත් වෙනවා. එක්වරම පාඩම් කළයුතු විෂයය ගොන්නක් ලෙස පොත්පත් සටහන් දැකීමෙන් ඔබට අනවශ්‍ය විභාග ආතතියක් ඇති කරනවා. ඒ නිසා විෂයයන් අනුවත් විෂයයන්ගේ විෂයය කොටස් අනුවත් පොත්පත් සටහන් ගොන්න පිළිවෙළකට වෙන් කරගන්න.

ඉන්පසුව ඔබ කළයුත්තේ පාඩම් කළයුතු මේ විෂයය කොටස් සඳහා ඉදිරි සීමිත කාලය වෙන්කර ගැනීමයි. මේ සඳහා විශේෂ කාල සටහනක් සකසා ගන්න. එහිදී අපහසු විෂයයන්ට හා අපහසු විෂයය කොටස්වලට වැඩි කාලයක් වෙන් කළ යුතුයි.

පාඩම් කරනවා යැයි පොත්පත් ඉදිරියේ නෙත රඳවාගෙන නිකරුණේ කාලය ගත කරන්න එපා. වැදගත් වන්නේ පාඩම් කරන වේලාව නොව පාඩම් කළ ප්‍රමාණයයි.

මතකයට ඉඩදෙන තුරු සෙවණ

බොහෝවිට අපේ දරුවන් පාඩම් කිරීම සඳහා තෝරා ගන්නේ බිත්ති හතරකින් වට වූ කාමරයක අඳුරු මුල්ලක තබා ඇති පාඩම් මේසයයි. එහෙත් අඳුරු කාමරයකදී නොව ස්වාභාවික පරිසරයක් පෙනෙන කවුළු ඇති කාමරයක් තුළ මතක ශක්තිය වැඩි බව නූතන පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. එයට හේතුව වන්නේ එවැනි පසුබිමකින් සිතට නිදහස් ලිහිල් බවක් දැනෙන නිසායි. පාඩම් මේසයටම සිරගත නොවී පාඩම් කිරීමට බාධාවක් නොමැති තුරු සෙවණක්, ගල්තලාවක් වැනි ස්වාභාවික පරිසරයේ දී ඔබට මතක ශක්තිය සමඟ හොඳ ගනුදෙනුවක් කළ හැකියි. ඒ නිසා ඉඳහිට එවන් පසුබිමකට ගොස් ආතතිය දුරලමින් කට පාඩම් කළයුතු කොටස් මතකයේ රඳවා ගන්න.

කෙටි සටහන් තැබීම

“කෙටි සටහන් තැබීම” ඵලදායී පාඩම් කිරීමක් සඳහා හොඳම ක්‍රමවේදයක් වනවා. එහිදී ඔබේ මනස එකදිගටම පාඩම වෙත රඳවාගෙන තබාගැනීමටත් හැකියි. සැබැවින්ම මෙහිදී සිදුවන්නේ පාඩම ඔබේ මතකයට සාරාංශගත කරගැනීමයි.

අකුªරු පමණක් නොව වර්ණ, රූප මඟින් කෙටි සටහන මතකය වෙත වඩාත් ආකර්ෂණීය කරගත හැකියි.

ඉහළම විභාග ජයග්‍රහණයකට කෙටි සටහන් කොතෙක් ඉවහල් වී දැයි වරෙක් උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයට පැමිණි දියණියක් සඳහන් කර තිබුණේ මෙලෙසයි.

“අවසන් මාස හත මුළුල්ලේම මං භාවිත කළේ කෙටි සටහන්. ඒක පොත් පරිශීලනයට වඩා පහසුයි. ඒ වගේම ඉක්මනින් මතක හිටිනවා. කෙටි සටහන් තුළින් මතක්කර ගැනීමටට අපහසු කරුණු මතක් කිරීමට පමණක් මං නැවත පොත් පෙරළා බැලුවා. මට හිතෙන විදිහට උසස් පෙළ උසස් ප්‍රතිඵල ලබන්න මෙකී කෙටි සටහන් ප්‍රයෝජනවත් වුණා.

කෙටි සටහන් හැදීමේදීත් අදාළ විෂයය කරුණු සේම බාහිර කරුණුත් එකතු කරනු ලැබුවා. ඒකත් බොහෝ අවස්ථාවලදී මට උසස් ප්‍රතිඵලයක් ලබන්න හේතු වුණා.

කෙටි සටහන් ටික පසුම්බියේ දාගෙන යා හැකි තරමට කුඩාවට සකස්කර තිබුණු නිසා ඕනෑම තැනකට අරන් ගිහින් කියවන්නත් පුළුවන් වුණා. ඒ නිසා අමතර පන්තියේදීත්, විවේක කාලවලදීත් කෙටි සටහන් කියෙව්වා. නිතර නිතර කෙටි සටහන් කියවීමෙන් විෂයය කරුණු නිරායාසයෙන්ම මතකයේ තැන්පත් වුණා. මේ නිසා පොත් නොපෙරළා සියලු විෂයය කරුණු පහසුවෙන් සාරාංශගත කරලා මනසට ගන්න පුළුවන් වුණා.

ප්‍රමාණවත් නින්දක්

මතක හිටින්න පාඩම් කරන දරුවකුට දවසට ප්‍රමාණවත් නින්දක් ලැබීම ඉතා වැදගත් කාරණාවක් වනවා.

විභාගයකට සූදානම් වන දරුවකුට දවසකට අවම වශයෙන් පැය හයක නින්දක් අවශ්‍ය බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කර තිබෙනවා. සිරුරේ ගෙවී ගිය පටක හා සෛල වර්ධනය සඳහා අපට ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි. ක්ෂය වී ගිය පටක සෛල වර්ධනය නොවූ විට ක්‍රියාකාරීත්වය අඩුවී තෙහෙට්ටු ගතියක් ඇතිවෙනවා.

එවැන්නකුගේ මතක ශක්තියත් දුර්වල වනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සම්පූර්ණ රාත්‍රියක් පුරා අවදි වී පාඩම් කිරීමට උත්සාහ දැරීම ප්‍රතිඵලදායී නොව හානිදායී බවයි. ඒ එවැනි උත්සාහයකින් දින හතරක් පුරාවට පාඩම් කළ මතකයන් ද අමතක වී යන නිසායි.

පිළිතුරු ලිවීම

මේ දිනවල ඔබේ විභාග සූදානම සඳහා වූ විශේෂ සැලසුමේ පසුගිය ප්‍රශ්න පත්‍රවලට හා අනුමාන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට වැඩි ඉඩකඩක් වෙන්වී තිබිය යුතුයි. නියමිත වේලාවට විභාග ශාලාවක මානසිකත්වය සිතට නඟාගෙන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමෙන් ඔබේ මතකය තහවුරු වේවි. විභාග ආතතිය වියැකී යාවි. බොහෝ දූපුතුන් කොයිතරම් පාඩම් කළත් විභාගයේ දී දන්නා විෂයය කරුණුවලින් පවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට අපොහොසත් වෙනවා.

“ප්‍රශ්නය අහලා තිබුණු විදිහට පිළිතුර ගැන හිතාගන්න බෑ”

විභාගයෙන් පසු ඔවුන් පශ්චාත්තාප වන්නේ එලෙසයි. මේ පශ්චාත්තාපය නොනැඟෙන්නට නම් පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියා හුරුවක් ලබා තිබිය යුතුයි. එවිට ඕනෑම ආකෘතියකින් අසන ප්‍රශ්නයකට පිළිතුªරු දීම සඳහා ඔබට හොඳට පෙරහුරුවක් ලැබේවි. විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට නම් මතකයත් ප්‍රශ්නයට අනුව පිළිතුර සංවිධානය කරගැනීමත් අතර හොඳ ගනුදෙනුවක් සිදුවිය යුතුමයි.