ආදරණීය මවුපියනි... මේ නොපෙනෙන රතු එළිය ඔබේ දරුවාටත් දැල්වේ ද?

ජූලි 3, 2019

පිවිතුරු ළමා ලෝකය සැබැවින්ම හැඩකාරය. ඒ හැඩකාර ලොවේ දරු සෙනෙහසට හිමි අගය අපරිමිතය. හොඳම දෙය දරුවන්ට දෙන්නට තරම් මවුපියන් මෙතරම් වෙහෙසෙන්නේ ඒ ආදරණීය සැබැඳියාව නිසයි.

ලොවක් වටිනා තම දරුවන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මවුපියන්ගේ එකම සිහිනය තම දෑස මෙන් දරුවන් රැකබලා ගැනීමයි .

එහෙත් අපට පසුගිය සිතියේ මාධ්‍යයෙන් අසන්නට, දකින්නට ලැබුණේ වැඩිහිටි රැකවරණය මොහොතකට ගිලිහී යෑම නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් පෙළකි. මෙම සෑම සිදුවීමක්ම හමුවේ අපට සන්නිවේදනය කළ පණිවුඩය වූයේ මෙවැනි සිදුවීමක් නොවීමට වගබලා ගැනීමට අවස්ථාව නොතිබුණේ ද යන පැනයයි.

පසුගිය සතියේ මුල්ම දිනයේම අපට අසන්නට ලැබුණේ ඉතාම අවාසනාවන්ත සිද්ධියකි. තම දෙහැවිරිදි දරුවාට බෙහෙත් ගැනීමට මෝටර් රථය නිවෙසින් පිටතට ගැනීම සඳහා රිය පසුපසට ගනිද්දී තමුන්ගේම සිඟිති දරුවා රථයට හසුවීමෙන් මියගිය සිද්ධියකි. තවත් සිදුවීමක් අඟහරුවාදා දිනමිණ පුවත්පතේ වාර්තා වූයේ රූපවාහිනී දැක්මක් අනුකරණයට ගිය දස හැවිරිදි දරුවකුගේ මරණයයි. මෙම සිද්ධි දෙකටම වඩා වෙනස්ම පුවතක් දිනමිණ බදාදා පුවත්පතේ වාර්තා කර තිබුණේ දස හැවිරිදි දැරිවියක් පාරෙන් අහුලාගත් උපකරණයක් තම බෝනික්කකුට සවි කිරීමට ගොස් එය පුපුරා යෑම නිසා සිදු වූ අනතුරයි.

සාමාන්‍යයෙන් රථයකට හසු වී මියයෑම, ගෙල වැළලාගෙන මියයෑම, අත් බෝම්බ පුපුරා යෑම වැනි සිද්ධි පිළිබඳ අපට අසන්නට ලැබෙයි. එහෙත් අප මෙම සිද්ධි තුන පිළිබඳ විශේෂ සටහනක් තබන්නේ එය වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් බව අවධාරණයෙන් කිය යුතු හෙයිනි.

මෙහි පළමුව සටහන් කළ සිද්ධිය වාර්තා වූයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙනි. තම දෙහැවිරිදි දියණියට බෙහෙත් ගැනීමට වෛද්‍යවරයකු හමුවීමට යෑම සඳහා රථය පසුපසට ගන්නා පියාට පසුපසින් සිටින්නේ කවුදැයි හරිහැටි නොපෙනුණේය. බොහෝවිට රථයක් පසුපසට ගන්නා විට දෙපස සවි කළ පැති කණ්ණාඩි දෙකෙන් බැලීම සිරිතය. ඇතැම් සුඛෝපභෝගී රථවල පසුපස පෙනෙන කැමරා ද තිබෙයි. එහෙත් සාමාන්‍ය රථයක මෙවැනි කැමරාවක් නොවෙයි. මෙම සිදුවීමට හේතුව වන්නට ඇත්තේ සුළු අත් වැරැද්දකි. පියාට පටුපස සිටින්නේ කවුදැයි නොපෙනෙන්නට ඇත. මෙම සිද්ධිය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළහොත් මෙහි වරද කාගේද? බොහෝවිට රථයක් පසුපසට ගන්නා අවස්ථාවේ දී පිටුපස නොපෙනේ නම් තවත් අයකුගේ ආධාරය ලබාගැනීම වඩාත් වැදගත්ය. එසේම රථයක් නිවෙසක ගාල් කරන අවස්ථාවේදීම එය ඉදිරියට පැදවිය හැකි අයුරින් නවතා තැබීම රාජකාරියට හෝ හදිසි අවස්ථාවකදී විශාල පහසුවකි.

 

සටහන - දුමින්ද කාරියවසම්

2019/07/03 තරුණි බලන්න