ශිෂ්‍යත්ව විභාගයට මවුපියන්ටත් පෙර සූදානමක්

ජූලි 17, 2019

පහේ ශිෂ්‍යත්වය කියන්නේ හා හා පුරා කියලා අපේ පොඩිත්තන් රජයේ විභාගයකට මුහුණ දෙන මුල්ම අවස්ථාවයි. අගෝස්තු 4 වැනිදාට ඒ තීරණාත්මක දිනය උදාවෙලා තියෙනවා.

ඒ දවස ළං වෙන විට දරුවන් විතරක් නෙවෙයි අම්මලා තාත්තලාත් ආතතියෙන් පිරී යනවා. ඒ සදානුස්මරණීය දිනයට තව ඉතිරිව ඇත්තේ සති තුනක් විතරයි.

මේ වනවිට දරුවනුත් මාපියනුත් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ලොකු මහන්සියක් වෙන බව අප දන්නවා. නමුත් මේ මහන්සිවීම යම් සැලැස්මකට අනුව නොකළොත් ඔබේ දරුවා අතිශයින්ම පීඩාවට පත්වෙනවා වගේම ඔබේ බලාපොරොත්තුත් දරුවගේ බලාපොරොත්තුත් සියල්ල බොඳ වෙලා යන්න ඉඩ තියෙනවා. එසේ වීමට ඉඩ නොදී මේ වගේ සැලැස්මකට අනුව වැඩ කළොත් ඔබේ දරුවාටත් ජයග්‍රහණය කරා යෑමට හැකි බවට සැකයක් නැහැ.

විෂය කරුණු ආවර්ජනයට දවසේ වේලාවක් වෙන් කරගන්න

දැන් අලුතෙන් දැනුම හොයනවාට වඩා වැදගත්ම දේ තමයි ලබාගත් දැනුම පුනරීක්ෂණය කිරීම. හැම දරුවෙක්ම පෙරහුරු ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියා ඒවා නැවත අරගෙන කියවා බැලීමත් විශේෂයෙන් පෙළපොත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් වැදගත්. ඒ වගේම පන්තියේ දී දරුවා ඉගෙන ගත් දෑ දවසේ එක වේලාවකදී දරුවාට නැවත මතක් කරදීම වැදගත්.

ඉගෙනුම් මිත්‍රශීලී ගෘහ පරිසරයක් පවත්වාගෙන යමු

විභාගයට මුහුණ දෙන දරුවෙක් හොඳ යහපත් මානසික තත්ත්වයකින් ඉන්න අවශ්‍යයි. ඒ නිසා නිවෙස දරුවාට පි‍්‍රයමනාප ස්ථානයක් විය යුතුමයි. නිවෙසේ නිදහස් සාමකාමී පරිසරයක් නිර්මාණය වී තිබීම ඉතාම වැදගත්. වැඩි ශබ්ද නිකුත් කරන රූපවාහිනී, ගුවන් විදුලි යන්ත්‍ර දරුවාගේ නිදහස් මනසට ඇති කරන්නේ යහපත් දෙයක් නොවෙයි. මේ දවස්වල මවුපියන් වුණත් අඬදබර නොවී සතුටින් පිරී යන ස්ථානයක් බවට පත්කිරීම සුදුසුයි.

ඒ වගේම දරුවාගේ නිදහසට හානිවන කිසිවක් මේ දිනවල අලුතින් එකතු කරන්න එපා. මාපියන් පවුලේ සාමාජිකයන් සියලු දෙනාත් නිවෙසේ එකම කණ්ඩායමක් ලෙස සතුටින් කටයුතු කිරීම මේ දවස්වල කළ යුතුමයි. ඒ වගේම දරුවාගේ විෂය කරුණුවලට අදාළ වැකි, රූප වගේ දේවල් නිතර ඇස ගැටෙන ආකාරයට සකස් කරලා තිබ්බොත් ඒක දරුවාට ලොකු උදව්වක් වේවි.

දරුවාගේ විභව්‍යතා  හඳුනා ගන්න

ඔබේ දරුවා ඇත්තටම දක්ෂයෙක් බව අවබෝධ කරගන්න. සෑම දරුවකුටම ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ගන්න බැහැ. එයින් දක්ෂ ද අදක්ෂ ද මනින්න බැහැ. හැම දරුවකුටම කුමන හෝ දක්ෂතාවක් තියෙනවා. ලෝකේ හැම තැනින්ම බිහි වුණේ වෛද්‍යවරු, ඉංජිනේවරු පමණක් නොවෙයි. ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන් බිහි වුණේ එක් එක් පුද්ගලයන්ගේ විවිධ දක්ෂතා ඇති නිසයි. එය ඔබ තේරුම් ගත යුතුයි. කුමන අවස්ථාවකදීවත් දරුවා අනෙක් දරුවන් සමඟ සසඳන්න යන්න එපා. හැම දරුවකුටම එක වගේම ලකුණු ගන්න බැහැ. ඒකෙන් අදහස් කරන්නේ දරුවා අදක්ෂයි කියලා නෙවෙයි. ළමයි ලකුණු ගන්න අවස්ථාවල ඔවුන්ව අගයන්න. අඩු ලකුණු ගත්තාම බොහෝවිට දරුවන් දඬුවමට හෝ අපවාදයට ලක්කරනවා. එය කිසිසේත්ම නොකළ යුතු දෙයක්. අඩු ලකුණු ගන්නා අවස්ථාවල ඔවුන්ව අපහසුතාවයට පත්කරනවාට වඩා දිරිමත් කිරීමයි සුදුසු.

විභාගයට ඇති බිය හා ආතතිය අවම කරන්න

බොහෝවිට අපි දැකලා තියෙන කරුණක් තමයි විභාගය ළං වෙන්න ළං වෙන්න දරුවන්ටත් වඩා පීඩනයට පත්වෙන්නේ මාපියන්. ඔවුන් කල්පනා කරන්නේ විභාගය අසමත් වුණොත් මුළු ජීවිතයම අසාර්ථකයි කියලා. නමුත් ඇත්ත එය නොවෙයි. ලංකාවේ උගත්, බුද්ධිමත් සියලුම අය ශිෂ්‍යත්ව විභාගය සමත් අය නොවෙයි. ඔබ පීඩනයෙන් හෝ ආතතියෙන් පෙළෙන බව දරුවාට දැනුණොත් දරුවා තවත් පීඩනයට පත්වෙනවා. මෙය මෙතෙක් පන්ති කාමරයේ දී උගත් දේ පමණක් මැන බලන ඉතාම සරල, පහසු දෙයක් බව දරුවාට තේරුම් කරලා දෙන්න.

එහෙම නැතුව වෙළෙඳ පොළේ තියෙන ප්‍රමිතියෙන් තොර පොත්පත් ප්‍රශ්න පත්‍ර ගොඩගහගෙන දරුවාට කියා ඒවා සම්පූර්ණ කිරීමට යාම කළයුතු දෙයක් නොවෙයි.

 

මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විද්‍යාලාධිපති

චාමින්ද ලියනආරච්චි

 

2019/07/17 තරුණි බලන්න