දෛනික ජීවිතය හා බැඳි කෘෂි හා ආහාර තාක්ෂණය

නොවැම්බර් 20, 2019

සා/පෙළ විභාගයට තවත් ඇත්තේ දින ගණනාවකි. අපි විෂයයන් ගණනාවක් ඔස්සේ මේ වන විටත් ඔබව දැනුවත් කළා. අප සපයන අත්වැල ඔබගේ සාමාර්ථයට රුකුලක් වනවා නම් එයයි අපේ උත්සාහයට ලැබෙන ප්‍රතිඵලය.

සා/පෙළට මෙන්ම ඔබගේ දෛනික ජීවිතයට වඩාත්ම සමීප විෂයයක් ගැන දැනුවත් කිරීමටයි අද සුදානම. කෘෂි හා ආහාර තාක්ෂණය විෂයයක් ලෙස සා/පෙළට එක්වද්දී එහි විෂයය කරුණු තවදුරටත් වැඩිදියුණු වී කෘෂි විද්‍යාව ලෙස උසස් පෙළ විෂයය නිර්දේශයට එක් වී ඇත. සහතිකපත්වලට රැකියා සොයමින් පසුවන තරුණ පිරිසට මෙම විෂයය පිළිබඳ දැනුමක් තිබීම රැකියා මෙන්ම පාඨමාලාවලට ද සුදුසුකමකි. ගෙවතු වගාව වඩාත් ප්‍රචලිත මෙවන් යුගයක එහි ඵලදායීතාවය තවත් වැඩිකර ගැනීමට ද මෙම දැනුම ඉවහල් වේ. සාමාන්‍ය ජීවිතයටත් වැදගත් වන මෙම විෂයය තුළ විශිෂ්ටයෙක් වන්නට දරුවනි, මේ කරුණුත් ඔබට වැදගත් වේවි.

මේ ගැන දැනුවත් වීමෙන් සා/පෙළ කෘෂි විද්‍යා විශිෂ්ටයකු විය හැකියි.

* කෘෂි හා ආහාර තාක්ෂණය විෂයය සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ පෙළ පොත් ඇසුරින් නිසා පෙළ පොත් හොඳින් අධ්‍යයනය කරතිබීම සා/පෙළට මුහුණ දෙන දරුවන්ට වාසිදායක වේවි.

* 10/11 වසරවල පෙළපොත් පරිහරණය කරතිබීම ඔබ ලබන සාමාර්ථයට විශේෂ සහතිකයකි.

* මෙහි ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ පෙළපොත් ආශ්‍රයෙන් නිසා මෙම විෂයයට ගුරුවරුන් නොමැති පාසල්වල දරුවන්ට ද පෙළපොත් පරිහරණයෙන් විශිෂ්ට සාමාර්ථ කරා යා හැකි වීම විශේෂ වාසියකි.

* පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයා තිබීම ඔබට හොඳ පෙරහුරුවකි.

* මෙහි විශේෂත්වය වන්නේ දරුවන්ටම වුව පෙළපොත් ඇසුරින් ප්‍රශ්න පත්‍ර සකසා ගෙන නියමිත කාලයක් තුළ පිළිතුරු සපයා පුහුණු විය හැකි වීමයි. එවිට ඔබට ඔබ තුළින්ම කෘෂි හා ආහාර තාක්ෂණය පිළිබඳ දක්ෂයකු බිහිකරගත හැකියි. මෙය ඔබගේ මතකය තහවුරු කරගැනීමේ ඵලදායී මඟකි.

* කෙටි ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න සියල්ලම සැකසෙන්නේ 10/11 පෙළපොත් ආශ්‍රයෙනි. මෙහිදී විශේෂයෙන්ම දේශගුණය, පස, පළිබෝධ, බිම් සැකසුම, සත්ත්ව පාලනය වැනි පාඩම් සඳහා වැඩි ප්‍රවණතාවක් හිමි වේ.

* මෙහිදී දරුවන් වඩාත් සැලකිලිමත් වියයුතු කරුණක් සඳහන් කළයුතුය. කෙටි ප්‍රශ්නවලදී බොහෝ විට එක සමාන වාක්‍ය භාවිත කරයි. ඒවා වෙනස්වන්නේ වචනයකින් හෝ දෙකකිනි. එවන් අවස්ථාවල ක්ෂණිකව එක් වචනයක් හෝ දෙකක් දැකීමෙන් ඔබ පිළිතුර තෝරාගනියි. නමුත් එය නිවැරැදි නොවිය හැකියි. එම නිසා මුළු ප්‍රශ්නයම (වාක්‍යයම) කියවා අදාළ පිළිතුර තෝරාගැනීමට නිරතුරුවම උත්සුක වන්න.

* කිසිම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු කොටුවක් හිස්ව නොතබන්න. අපහසු ප්‍රශ්නවලට විශේෂ සලකුණක් තබා ඉතිරි ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සියල්ල අවසානයේ අතහැර ගිය ප්‍රශ්න කරා නැවත අවධානය යොමුකොට එයට ආසන්න පිළිතුරක් හෝ ලකුණු කරන්න.

* ධ්ධ් කොටසේ ප්‍රශ්න 7 න් පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු අතර එහි අනු කොටස් 10 ක් ඇත. ඒවාට කෙටි පිළිතුරු සැපයීම ප්‍රමාණවත් බව දරුවන් මතක තබාගන්න. වැල්වටාරම් ලියා කාලය අපතේ නොහැරීමේ වාසිය ලැබෙන්නේ ද ඔබටමය.

ඔබට ජය!

උපදෙස්

කුරුණෑගල

එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විද්‍යාලයේ කෘෂි විද්‍යා උපදේශක

එස්.පී. කුසුම්සිරි ධර්මරත්න

 

2019/11/20 තරුණි බලන්න