ඔබේ දරුවාගේ ලීවීමේ අපහසුතා හඳුනාගනිමු

දෙසැම්බර් 4, 2019

මීට දශක කිහිපයකට පෙර අපේ සමාජයේ තිබුණේ විස්කෘත නැතිනම් විසාරී පවුල් සංස්කෘතයකි. මේ පවුලේ අම්මා. තාත්තා සහ දූ දරුවන්ට අමතරව ආච්චී, සීයා, මාමා, බාප්පා, නැන්දා, පුංචි අම්මා සමඟ වෙනත් පවුලට සමීපතම වැඩිහිටියන් ද සාමාජිකයන් විය.

මේ නිසා පවුලට එකතුවන පුංචි දරු පැටවුනට ආදරය, ආරක්ෂාව, රැකවරණය නොඅඩුව තිබිණි. එසේම බහ තෝරන වයසේදී ඊට උදවු වන්නට, කතා කරන්නට බොහෝ පිරිසක් සිටියහ. විශේෂයෙන් ආච්චී, සීයා හෝ මේ දෙදෙනාම කුඩා දරුවනට තමන්ගේ භාෂණ හැකියාව වැඩි දියුණු කරගන්නට විශාල අත්වැලක්ම විය.

එහෙත් වර්තමානයේ බොහෝවිට අපි කුඩා පවුල් ඒකකයකට නැතිනම් න්‍යෂ්්ඨික පවුලක් බවට පත්ව සිටිමු. මේ නිසා මව, පියා දෙදෙනාම රැකියාවලට යෑමෙන් දරුවන් රැකබලා ගැනීම ගැටලුවක් බවට පත්ව තිබෙනු දැකිය හැකියි. ඒ නිසා එවැනි දරුවන් ද වැඩීමේදී විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දෙයි.

මේ අතරින් කථන ආබාධ, ලිවීමේ දුෂ්කරතා වැනි ගැටලු ප්‍රධාන ලෙසම හඳුනාගත හැකියි.

අප පසුගිය සති දෙක පුරා සාකච්ඡා කළේ දරුවකුගේ කියවීමේ ගැටලු හඳුනාගන්නා අයුරු සහ ඊට යොදන පිළියම්ය. අද අප යොමුවන්නේ ලිවීමේ අපහසුතාවන්ගෙන් පසුවන දරුවන් හඳුනාගන්නේ කෙසේද යන්නයි.

ඔබේ දරුවාටත් ලිවීම අපහසු ද?

ලිවීම යනු පාඨකයා සමඟ සිතුවිලි හා අදහස් සන්නිවේදනය සඳහා සංකේත භාවිතයෙන් (හෝඩියේ අකුරු, විරාම ලකුණු, පරතරය) යොදාගන්නා ක්‍රියාවලියකි.

ප්‍රාථමික පාසල් අවධිය තුළ දරුවාගේ ලිවීමේ කුසලතා විවිධාකාර වේ. එනම් සමහර දරුවන් පෙර පාසල් අවධිය තුළදී ඉංගී‍්‍රසි/සිංහල හෝඩිය හඳුනාගෙන එය ලිවීමේ කුසලතාවයෙන් යුතුව ප්‍රාථමික පාසලට ඇතුළත් වේ.

නමුත් බොහෝ දරුවන් ඉංගී‍්‍රසි/සිංහල හෝඩිය ගැන නිශ්චිත දැනුමකින් තොරව ප්‍රාථමික පාසලට ඇතුළත් වේ. සාමාන්‍ය විෂයමාලාවට අනුව පළමුවැනි ශ්‍රේණිය තුළදී දරුවා සිංහල හෝඩියේ අකුරු, අකුරු දෙකේ වචන, තුනේ වචන, පිල්ලම් සහිත වචන, පිල්ලම් සහිත හා රහිත වැකි ලිවීමේ කුසලතා අත්පත් කරගනී. මෙය දෙවැනි හා තුන්වැනි ශ්‍රේණිය දක්වා ක්‍රමයෙන් සංවර්ධනය වේ. එම කුසලතාවය සාමාන්‍යයෙන් දරුවන් බොහෝ දෙනකුට අත්පත් කරගත හැකි වුවද පන්ති කාමරයක ළමුන් සියලුදෙනා එක හා සමාන නොවන බැවින් ලිවීමේ කුසලතා අත්පත් කරගැනීම ද විවිධාකාර විය හැකියි.

එම විවිධාකාර දරුවන් අතර ලිවිමේ දුෂ්කරතා පෙන්වන දරුවන් අපට හමුවේ. දරුවකුගේ ලිවීමේ හැකියාව සාමාන්‍ය මට්ටමට වඩා වෙනසක් දකීනම් ඒ පිළිබඳ අවධානයෙන් දිනපතා දරුවාව නිරීක්ෂණය කරන්න. ලිවීමේ දී දරුවා දක්වන ප්‍රතිචාර හොඳින් නිරීක්ෂණයකර නිගමනයකට එළැඹිය යුතුයි. එවන් ලිවීමේ දුෂ්කරතා හඳුනාගෙන ඊට නිසි මැදිහත්වීම සිදුකිරීම තුළින් දරුවාට සහයවිය හැකියි. මෙම තත්ත්වය ‘‘ඩිස්ග්‍රාෆියා’ (ච්රඵඨපචනඩඪච) ලෙස හඳුන්වනු ලබයි.

ඩිස්ග්‍රාෆියා ඉගෙනුම් දුබලතාවය වෛද්‍යවරු හඳුන්වන්නේ ලිඛිත ප්‍රකාශන දුර්වලතා ලෙසය.

ලිවීමේ දුෂ්කරතා (ඩිස්ග්‍රාෆියා) දරුවන් පෙන්නුම්කරන ලක්ෂණ කිහිපයක් මෙසේය.

1) අපැහැදිලි, අක්‍රමවත් කියවිය නොහැකි අත්අකුරු ලිවීම (උදාහරණ පින්තූර)

2) නිවැරැදිව පැන්සල ග්‍රහණය කිරීමේ අපහසුතාව

3) ලිවීමේදී වැරැදි ඉරියව්වෙන් අසුන්ගෙන ලිවීම

4) වචනයේ අකුරු ලිවීම අතරතුර එම වචන/අකුරු ශබ්ද නඟා කියවීම

5) ලිවීම හා චිත්‍ර ඇඳීම මඟහැරීම, ලිවීමේ දී ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම

6) අසම්පූර්ණ වචන හෝ අතහැරදැමූ වචන සහිත වාක්‍ය ලිවීම

7) අකුරු හෝ වචන අතර ඉතා විශාල පරතරයක් තිබීම හෝ කිසිසේත්ම පරතරයක් නොතබා ලිවීම

8) දුර්වල අක්ෂර වින්‍යාසය හා අහඹු විරාම ලක්ෂණ යෙදීම

9) සිතුවිලි වචන බවට සංවිධානය කිරීමේ අපහසුතාව

10) ලිවීමේ දී මැණික්කටුව වෙහෙසවීමේ අසාමාන්‍යතා

11) කුඩා තනිරූල් පොත්වල ලිවීමේ අපහසුතා

 

ඉහත ලිවීමේ දුබලතාවයට හේතු ලෙස දරුවාගේ සියුම් මාංසපේශී සංවර්ධනය දුර්වල වීම හා සංජානන ගැටලු බලපෑ හැක.

 

මෙවැනි දරුවන්ට නිවෙසේදී උපකාර කරන්නේ කෙසේද ?

ලබන සතියේ..

 

ප්‍රියදර්ශනී හෙට්ටිගේ

කථිකාචාරිනී

විශේෂ අවශ්‍යතා අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.