නිර්මාණශීලී දරුවකු බිහිකරන සොඳුරු ළමා වියට යමු

දෙසැම්බර් 4, 2019

 

බණින්නෙපා
පොඩි දෝණිට ගහන්නෙපා
හාල්මිටක් දූ අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි

දුරුතු පෝය දා
කැලණි විහාරේ
වඳින්න ගොස් අපි
එන ගමනේ
වළං මුට්ටි පොඩි
අරගෙන දුන්නේ
සෙල්ලං බත් උයන්නයි

මුට්ටි වළං පොඩි
ළිප උඩ තියලා
සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටත්
ඉන් බත් කට කට
දුවගෙ අතින් කවන්නයි
 

මගේත් අක්කලාගේ හා අයියලාගේත් වයස් පරතරය අවුරුදු දහයකට, පහළොවකට වැඩිය. එනිසාම මගේ බාල වියේදී මට සෙල්ලම් කරන්නට කෙනකු නොවීය.

අම්මාට නිවෙසේ දහසක් වැඩය. රැකියාවට ගොස් පැමිණි තාත්තාට ද, නිවෙසේ නොයෙකුත් වැඩය. එහෙත් ඔහු නිවෙසේ සිටින හැම විටෙකම මට ජන කතාවක් කියාදෙන්නට, මා සමඟ සෙල්ලම් කරන්නට කෙසේ හෝ කාලය සොයා ගත්තේය.

“ඔයා තමයි මෙයාව හුරතල් කරන්නේ” මා කුමක් හෝ ඉල්ලා චුරු චුරු ගාන විට අම්මා තාත්තාට කියන්නීය. ඒ අතීතය ගෙවී බොහෝ කල් වුවද මේ අදටත් නිතර මතක් වන සිදුවීමකි. දිනෙක මම සෙල්ලම් බත් උයන්නට පොඩි වළං ඉල්ලා හැඬුවෙමි. මගේ චුරු චුරු හැඬිල්ල දවස පුරාම තිබිණි. නමුදු එදින මට වළං නොලැබිණි. රාත්‍රියේ මා නින්දත්, නොනින්දත් අතර සිටින විට අසන්නට ලැබුණේ තාත්තා හෙට කොහෙන් හෝ වළං පොඩි ගේන බවය” අම්මා ඊට හරස් කැපුවාය.

“මේ වයසට සෙල්ලම් කරන්නේ නැතිව කවදා සෙල්ලම් කරන්නද? කෙල්ලට සාංකාව හැදේවි” තාත්තා කියනවා මට යාන්තමට මතකය.

 

2019/12/04 තරුණි බලන්න