කිසිවකුගේ පිළිසරණක් නොලැබූ දරුවන් දෙදෙනාගේ ඉරණම

ජනවාරි 29, 2020

දුප්පත්කම අභිමුව මිනිස් ජීවිත අන්ත අසරණව කඩා වැටෙති. දකුණු ආසියාවේ සෑම රටකම වැඩිම ජනතාවක් මුහුණ දෙන අභියෝගය වන්නේ ද දිළිඳුකමයි.

එසේම අපේ රටේ ඇතැමකු ද දුප්පත්කම ජයගන්නට කරන කැපවීම සුළුපටු නොවේ. ආගමික හා සංස්කෘතික බැඳීම් රැසක් ඇති අප රටේ පවුල් දුප්පත්කම හමුවේ විශාල පීඩනයකට පත්වන්නේ ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙමිනි. විශේෂයෙන් අපේ රටේ ගෘහණියන් දුප්පත්කම හමුවේ තම දරු පවුල ගොඩගන්නට විඳින ගැහැට අසීමාන්තිකය. ලෝකය හමුවේ හඬා වැටෙන්නට ඉඩ නොදී ඇතැම් ගෘහණියන් තම පවුලේ බර කරට ගන්නේ යෝධ රුක්ෂයක් ලෙසිනි. අම්මා නමැති උදාර චරිතයට අසීමිත ශක්තියක් එක් කරන ඇය සැමියාගේ කඩාවැටීම පසෙක තබා දරුවන් රැකගන්නට ගන්නා උත්සාහයට උදාහරණ දස දහස් ගණනක් වර්තමාන සමාජයේ දී හමුවෙයි. තම සැමියාගේ බීමත්කම නිසා කඩා වැටෙන පවුලට ශක්තියක් එක්කරන අම්මා තම දරුවන් ලොකු මහත් කරන්නට විදේශ රටක බැල මෙහෙවරකම් කරන්නට පවා පෙලඹෙන්නේ මෙවැනි පසුබිමකය. මෙය අසූව දශකයේ අපේ රටේ ඇතැම් පවුල් මුහුණ දුන් විශාලම අභියෝගයයි. රැල්ලක් සේ විදේශ ගෘහ සේවයට යන්නට පටන්ගත් අපේ යුවතියන් තම ජීවිතය පමණක් නොව මුළු පවුලම ඉසුරුමත් කරන සිහිනය සැබෑ කරගන්නට ගත් තීරණය හමුවේ ඔවුන් මුහුණ දුන්නේ අනේක දුක් ගැහැට හා කරදර කන්දරාවකටය. මේ නිසාම පසුගිය කාලය තුළ මවුවරු විදේශගතවීම යම් තරමකට අඩුවක් පැවතිණි.

ප්‍රසූති සතියේ

එහෙත් මෙවැනි සිද්ධියක් අපට පසුගිය සතියේ අසන්නට ලැබුණේ කුලියාපිටිය ප්‍රදේශයෙනි. බීමත්කම නිසා අසරණ වූ පවුලක් ගොඩගන්නට දරුවන් දෙදෙනකු සිටින මවක් විදේශ රටක ගෘහ සේවයට යන්නේ තම දරුවන්ගේ අනාගතය සරුකරලන්නටය. වයස අවුරුදු 16 ක් සහ අවුරුදු 10 ක් වූ මේ පිරිමි දරුවන් දෙදෙනාගේ මව විදේශගත වනවිට ඔවුන් බලාකියාගන්නට

භාරවන්නේ ඇයගේ සැමියාගේ මවටය. දරුවන්ගේ සුරක්ෂිතබව නැන්දම්මාට පැවරූ ඇය විදේශගත වී දැනට වසර 5 ක කාලයකි. මේ කාලය තුළ දරුවන් බලාගන්නට තම නැන්දම්මමාට ඇය අඛණ්ඩව මුදල් එවීම සිදුකළේ මහත් විශ්වාසයෙනි.

මේ දරුවන්ගේ එකම රැකවරණය වූ මිත්තනියගේ සෙනෙහස ද අහිමි කරන්නට තරම් සැහැසි වූ මේ නරුම පියා ඇයගේ මවට උණුවතුර වක්කර පුලුස්සන්නට තරම් කුරිරු වූයේ ගෙවා ගත නොහැකි පාපකර්මයක් කරගනිමිනි.

පසුගිය සතියේ දිනක හදිසියේම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අළුයම 2.00 පමණ ඇමතුමක් ලැබෙන්නේ මේ පහරදීම ගැනය. මේ ඇමතුමට අනුව වහා ක්‍රියාත්මක වු නිකවැරටිය පොලීසිය මේ පහරදීමට හා තුවාල කිරීමට ලක්වූ මව නිකවැරටිය රෝහලට ඇතුළත් කළේ ඇය සිටි අසාධ්‍ය තත්ත්වයෙන් බේරා ගැනීමටය. මෙසේ පහරදුන් පුතා (දරුවන්ගේ පියා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත වූයේ අසරණ දරුවන්ට කිසිවකුගේ පිළිසරණක් නොමැතිවය.

මෙසේ අසරණ වූ දරුවන් රැකබලා ගැනීම ගැන පොලීසියට ඇති වූයේ විශාල ගැටලුවකි. මවත්, පියාත් , කිරි අම්මාත් නොමැති දරුවන් භාර ගැනීමට කිසිම ඥාතියකු ඉදිරිපත් නොවීම හමුවේ ඔවුන් මව දන්නා හඳුනන හලාවත ප්‍රදේශයේ නිවෙසකට ගොස් ඇත්තෛ් ඉතාම අසරණවය. එහෙත් ඔවුන්ට එහි ඉඩ නොවීය. නීතිය හමුවේ පිටස්තර බාල වයස්කාර දරුවන් ළඟ තබාගැනීම නීතියට විරුද්ධ බව දැන්වූ මේ නිවෙසේ වැඩිහිටියන් මේ දරුවන්ට බස් ගාස්තුව ද දී නැවත නිකවැරටිය පොලීසියට යන ලෙස උපදෙස් ලබාදී තිබේ.

විශේෂ ස්තූතිය - නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක

උපාලි රත්නමලල මහතාට

2020/01/29 තරුණි බලන්න