නවසීලන්තයේ පුස්තකාලයක හිඳ දරුවන්ට ගී ගයන්නී

ජනවාරි 29, 2020

විවේකයක් ලද මොහොතක පොතක් කියවීම කලක සිට මා ලද පුරුද්දකි. නන්නාඳුනන රටක වුවද ඒ පුරුද්ද අත්හළ නොහැකි නිසා මේ දිනවල පදිංචි නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැන්මියෝ නගර පුස්තකාලය වෙත පිය නැඟුවෙමි.

පොත් රාක්ක අතරේ අතරමංවී මොහොතක් යද්දී මා දෙසවන් වැකුණේ ඉංගී‍්‍රිසි බසින් ඉතා මිහිරිව ගැයෙන ළමා ගී හඬකි. පුස්තකාලයක් යනු නිශ්ශබ්දතාව රජයන තැනක් නොවේදැයි සිතමින් ගී හඬ නැගෙනා දෙසට පා එසවුණේ මා නොදැනුවත්වම ය.

පුස්තකාලයේ ඒ තැන කුඩා දරුවන් සඳහාම සකසා තිබූබවක් පෙනෙන්නට තිබිණි. දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් වර්ණවත්ව ගහකොළ මල් සතුන් ගේ සිතුවමින් හැඩ ගැන්වී තිබූ ඒ ඉඩෙහි රවුම් පඩිපේළිවල කුඩා දරුවෝ විසි දෙනෙක් පමණ වූහ. මා පුදුම වූයේ ඒ කිසිම දරුවකු පොතක් කියවිය හැකි වයසේ පසුවන දරුවන් නොවන බව දුටුවිටය. ඇතැම් දරුවන් කෙළින් සිටිය නොහැකි තරම්ය. තවත් දරුවෝ වැටිවැටී ඇවිදින වයසේය. තවකෙක් ඇඟිලි කටේගසා ගන්නා වයසේය. එකතැන නොසිට දුවපැනයන වයසේ දරුවෝ ද එතැන සිටියහ. මේ දරුවන් සිටියේ තනිවම නොවේ. ඔවුන් කැටුව ආ අය ද එහි වූහ. මවක කිරිකැටියකු හොවාගත් ළදරු අත් කරත්තයක් තල්ලුකරගෙන පැමිණෙනවා මා දුටුවේ පුස්තකාලයට පැමිණෙද්දීය. මාස හතර පහේ වයසේ මවු ඇකයේ සිටින දරුවන්ගේ සිට අවුරුදු දෙකතුන මෙන්ම අතේ එල්ලී යන වයසේ දරුවෝ එතැන වූහ. තරුණ මවුවරුන්, දරුවන් බලා ගන්නා වැඩිහිටි කාන්තාවන් මෙන්ම දරුවන්ගේ මිත්තණියන් යැයි සිතිය හැකි කාන්තාවෝ ද දරුවන් සමඟ පැමිණ සිටියහ. මෙතැන තවත් විශේෂත්වයක් වූයේ මේ සැවොම විවිධ ජාතීන්ට අයත් වීමය. චීන ජාතික පියකු එකතැන රඳවා ගත නොහැකි සිය කුඩා දරුවා සමඟ ඔට්ටුවෙනු මම දුටුවෙමි.

එතැන මේ කුඩාවුන් හා සියලු දෙනා වට කරගත් රුවැත්තියෝ දෙදෙනෙක් ගී ගයමින් සිටියහ. මට මුලින් ඇසුණු ගී හඬ ඔවුන්ගේය. ඉන් අයෙක් බැලූ බැල්මට මේ රටේ මවුරි ජාතික හෝ දූපත්වාසී ජාතික තරුණියකි. අනෙක් තරුණිය දෙස බැලූ පමණින් කුමක්දෝ සමීප බවක් දැනුණ ද ඇය ගී ගයනා අන්දම බලා සිටියා මිස ඒ ගැන විපරම් නො කළෙමි. ඔවුන් ගී ගයමින් කුඩා දරුවන්ගේ අවධානය තමන් වෙත යොමු කර ගන්නා අන්දම අපූරු ය.

ගයනා ළමා ගීයට අනුව අභිනව පාමින් දෑත් සලමින් ගී ගයද්දී කුඩා දරුවෝ ද ඔවුන් අනුව යමින් තමන්ට හැකි පමණින් අත් පා සොලවති. වදන් මුමුණති. සිනාසෙති. දුවති. පනිති. වැඩිහිටියෝ ද සිය දරුවන්ගේ අත් අල්ලා ඔසවමින් දරුවන් ක්‍රියාකාරකම්හි යොදවති. මේ කිසිම දෙයක් කිරීමට බලකිරීමක් නැත. සියල්ල විනෝදයෙන් සැහැල්ලුවෙන් ගලා යන්නේය.

සේයාරූ -  සංජීව කැල්ලපත

නවසීලන්තයේ සිට

2020/01/29 තරුණි බලන්න