ගෙදර ඉඳගෙනම ඉගෙනුමට උපකාර

නිර්මාණාත්මක කුසලතා ගණිත සංකල්ප, වර්ණ හඳුනාගන්න
මැයි 13, 2020

මේ ගෙවී යන්නේ අපේ දරුවන්ට හිමිවුණු දීර්ඝතම පාසල් නිවාඩු කාලයයි. ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙන ගන්නා දරුවන් නිවෙසේ බිත්ති හතරට කොටු වී ඇත.

මේ නිසා ඔවුන් මුහුණ දෙන මානසික තත්ත්වය ද මාපියන් සිතට ගත යුතුයි. ඒ අතර අතපසුවන පාඩම් වැඩ කෙරෙහි දරුවන් යොමු කිරීම ද මාපිය වගකීමකි. ලොකු දරුවන්ට දක්වන සැලකිල්ල පොඩි දරුවන්ගේ ඉගෙනුම කෙරෙහි ද යොමු කළ යුතුයි. ඒ පොඩිත්තන් සිත්ගන්නා අයුරිනි. බලන්න, මෙහි දැක්වෙන්නේ විවිධ හැඩතල, විවිධ ප්‍රමාණවලට, විවිධ වර්ණයන්ගෙන් කපා විවිධාකාර අත්කම් නිර්මාණය කර ඇති ආකාරයයි.

පෙර පාසල් හා පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, වර්ණ සහ හැඩතල හඳුනා ගැනීම මෙන්ම මූලික ගණිත සංකල්ප, ප්‍රමාණාත්මක සංකල්ප ආදිය වර්ධනය කරන්න නිරත විය හැකි ඒ සඳහා ආදර්ශයට ගත හැකි නිර්මාණ කිහිපයකි මේ. ඔබේ සිඟිත්තා ළංකරගෙන මේ නිර්මාණ කරමින් ඔහුගේ හැකියාවන් වර්ධනය කරගන්න උපකාර කරන්න.

වෘත්තය එහෙමත් නැත්නම් රවුම, කොටුව හෙවත් සමතුරස්‍රය හෝ සෘජුකෝණාස්‍රය, ත්‍රිකෝණය, හදවත් හැඩය ආදී හැඩතල හඳුන්වා දෙන්න. දිග, පළල, ලොකු, පොඩි, විශාල, කුඩා, භාගය, කාල ආදී ප්‍රමාණයන් හඳුන්වා දෙන්න. රතු, කොළ, සුදු, කහ, කොළ ආදී වර්ණ හඳුන්වා දෙන්න. ඒවාට අංක යොදා ඉලක්කම් හඳුන්වා දෙන්න. ඒවා පිළිවෙළට තබන්නට කියාදෙන්න. ගණිත සංකල්ප අතරට අකුරු ද භාවිත කළ හැකියි.

මේ විවිධ ප්‍රමාණවල, විවිධ වර්ණවල හැඩතල භාවිතකර කොළවල අලවා මල්, වාහන, සත්ත්ව රූප, කුරුල්ලන්, මාත්ස්‍යන්, ගහ කොළ, මිනිසුන් සකසා නිර්මාණාත්මක සංකල්ප වර්ධනය කරන්න. ඔබට කැමැති නම් සුදු කොළ දරුවන්ලවා විවිධ වර්ණයන්ගෙන් වර්ණ ගන්වා මෙවැනි නිර්මාණ කළ හැකියි. එය දරුවන්ට තවත් අගනා ක්‍රියාකාරකම් සමූහයක අත්දැකීම් එක්කරනු ඇත.

අපි විවිධ හැඩතල යොදා එවැනි නිර්මාණ කරන ආකාරය පින්තූර මඟින් පහදා දී ඇත. මේ සඳහා පත්තර කඩදාසි, ඒෆෝ කොළ, වෙනත් පාට කඩදාසි, ගම්, පාට වර්ග, පැන්සල්, අඩි රූල, කතුර ආදී මූලික උපකරණ පමණක් අවශ්‍ය වේ. එමෙන්ම කුඩා දරුවන් සිටින නිවෙස්වල මේවා තිබේ. මේ දක්වා ඇති දේවල් උදාහරණයකට ගෙන මේවා මෙන්ම වෙනත් දේවල් ද නිර්මාණය කරන්න දරුවන්ට උපකාර කරන්න.