සා/පෙළ විශිෂ්ටයකු නොවූව ද උ/පෙළ ජයගන්නේ මෙහෙමයි

පෙබරවාරි 26, 2020

සා/පෙළ කොතරම් උසස් අන්දමින් ජයගත්ත ද විශිෂ්ට ඉලක්කයක් කරා යෑමට උ/පෙළ විෂයය ධාරාවන් නිවැරැදිව තෝරාගන්නේ කෙසේද යන්න ගැන අප පසුගිය සතිවල ඔබව දැනුවත් කළා. අද අප සූදානම් වන්නේ සා/පෙළ සාමාන්‍ය අයුරින් ජයගන්නා සාමාන්‍ය මට්ටමේ දක්ෂතා ඇති දරුවන් මෙන්ම දක්ෂතා අවම දරුවන් නිවැරැදිව සිය ඉලක්කය කරා යායුත්තේ කෙසේද යන්න ගැන දැනුවත් කිරීමටයි. බොහෝ දරුවන් පිරිසක් අන්තර්ගත වන්නේ මේ කොටසට වීම ද විශේෂත්වයකි.

ඕනෑම සමාජයක යම්කිසි විෂයයක් අරබයා හෝ පොදු අධ්‍යාපනය උදෙසා ඉතා දක්ෂ කුඩා පිරිසක් ද සාමාන්‍ය මට්ටමේ දක්ෂතා ඇති විශාල පිරිසක් ද අඩු දක්ෂතා ඇති කුඩා පිරිසක් ද වීම සාමාන්‍ය තත්ත්වයයි. සා/පෙළ සඳහා ද මේ තත්ත්වය මෙසේම බලපායි. නිසා ඔවුන්ට හොඳ ඉලක්කයක් කරා යෑමට ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම ඔවුන් සඳහා සමාජයේ පවතින අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

සහජ හැකියාවන් ඇගයීමට ලක්වීම.

එසේ සාමාන්‍ය හෝ අඩු ප්‍රතිඵල ලැබූ දරුවන් තම මිතුරන් හෝ දිවයිනේ අනෙකුත් සිසු සිසුවියන් හා තම ප්‍රතිඵල සංසන්දනය කරමින් පසුතැවිලිවීමක් හෝ නිදහසට කරුණු එකතු කිරීමක් මේ මොහොතේ අනවශ්‍යය. එසේම විශිෂ්ටයන් අධි තක්සේරුවට ලක්කිරීම හෝ අඩු ප්‍රතිඵලලාභීන් අවතක්සේරුවට ලක්කරමින් විවේචනය කිරීම ද සුදුසු නොවේ. වටහා ගත යුතු වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙලොව සෑම පුද්ගලයකුම ඉපදෙනුයේ සහ වැඩෙනුයේ අසීමිත බුද්ධිමය ධාරිතාවක් සහ නිර්මාණශීලී විභවයන් ඇතිබවය. අ.පො.ස. සා/පෙළ යනු යම්කිසි තෝරාගත් විෂයන් 10 ක් පමණ උගන්වා අප කැමැති වුවද අකැමැති වුවද ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වර්ගීකරණයක් කිරීමට යෙදාගන්නා තවත් එක් මිනුම් දණ්ඩක් පමණි.

එකී මිනුම් දණ්ඩ තුළින් බොහෝදෙනාගේ සැබෑ ජීවන කුසලතා හෝ සැබෑ ස්වාභාවික බුද්ධිමය නිර්මාණශීලීත්වය විකසනය වීමක්, ප්‍රගුණ කිරීමක් හෝ මැනීමක් සිදුකළ නොහැකිය.

එනම් උ/පෙළ නමැති මෙවලම දරුවන්ගේ ස්වාභාවික දැනුමේ හා බුද්ධියේ නැඹුරුව පරීක්ෂා කිරීමට යොදාගෙන ඇති එතරම් සුදුසු සහ නිවැරැදි මිනුම් දණ්ඩක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇත.

එනිසා අප මෙහිදී කළයුත්තේ අපගේ හැකියාවන් සහ බුද්ධි ප්‍රමාණයන් වෙන වෙනම හඳුනාගෙන අපගේ ලැදියාවන් සමඟ මුසු කොට සමාජයේ ඉහළ වටිනාකමක් සහ ශ්‍රමාභිමානයෙන් අනූන ක්ෂේත්‍ර මොනවාද යන්න සොයා බැලීමයි.

තමාට සුදුසු එවන් ක්ෂේත්‍රයක් තෝරාගෙන ඒ ඔස්සේ ඉහළම ජීවන ඉලක්කයකට යෑමට නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කිරීමයි ඔබ කළයුත්තේ.

මෙහිදී අභිමානයට ලක්කළ යුතු කරුණ වන්නේ රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක හෝ අධික මුදල් ගෙවා හදාරන උසස් අධ්‍යාපන පාඨමාලාවකට කොටු නොවී තමාගේ සහජ බුද්ධිය හා ආවේණික වූ නිපුණතා භාවිත කරමින් තමාගේම නිර්මාණශීලීත්වය ඍජුවම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමයි.

මෙහිදී ආඩම්බර විය හැකි කරුණ වන්නේ තමාගේම සහජ හැකියාවන් ඇගයීමට ලක්වීමෙන් ලබන සහතිකය මෙන්ම තමා විසින් තමාවම ප්‍රතිජනනය කරවීම තුළින් අනුන්ටත් තමන්ටත් ඵලදායී පුද්ගලයකු සමාජය තුළ නිර්මාණය කිරීමට අන් කිසිවකුටත් නොලැබෙන අභිමානවත් අවස්ථාවක් ඔබට ලැබීමයි.

අධ්‍යයන සහ වෘත්තීය ජ්‍යෙෂ්ඨ උපදේශක, පුද්ගල සංවර්ධන සහ ව්‍යවසායකත්ව නිපුණතා උපදේශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය

නිෂාන් බමුණුආරච්චිගේ අදහස් දැක්වීමකි

 

2020/02/26 තරුණි බලන්න.