එන්නත්කරණයෙන් පසු දරුවන් පාසල් යන දිනය අත ළඟයි

දිගුකාලීන රෝගවලින් පෙළෙන ඔබේ දරුවාටත් කොරෝනා එන්නත
සැප්තැම්බර් 22, 2021

 

*දරුවා වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට ලක් කර ඔහුගේ නිර්දේශ මත එන්නත ලබාදීම සිදුවේ

*එන්නත ලබා දෙන්නේ පළමුව බස්නාහිර පළාතේ රෝහල් තුළ

 

මුළු ලෝකයම උඩු යටිකුරු කරමින් හමා ආ චණ්ඩ මාරුතයයි කොරෝනා. මේ වසංගතය හමුවේ ලොවට අහිමි වූ ජීවිත ගණන ලක්ෂ හතළිස් හතත් ඉක්මවා අවසන්. දෑස් අභියස එකිනෙකා අවසන් ගමන් යන මේ ව්‍යසනය තරමක් දුරට හෝ පාලනය කළ හැකි වූයේ එන්නත්කරණය හමුවේ පමණි.

ඒ අනුව අපේ රටේ ද කඩිනමින් එන්නත්කරණය ආරම්භ කළ අතර මේ වනවිට වයස අවුරුදු 20ට වැඩි පුරවැසියන් වෙත එන්නත ලබා දී තිබේ. අද වනවිට සමස්ථයක් ලෙස මෙරට ජනගහනයෙන් මිලියන 11ක් එන්නත් මාත්‍රා දෙකම ලබා තිබීමත් සතුටට කරුණකි. කොරෝනා වසංගතය හමුවේ මෙරට ජනතාව ආර්ථික, සමාජීය වශයෙන් ඇද වැටී ඇති සමයක වඩාත් පීඩාවට පත්වූ තවත් පිරිසක් වන්නේ අපේ ආදරණීය දරු පරපුරයි. වසර දෙකක පමණ කාලයක සිට පාසල් ක්‍රමවත්ව නොපැවතීම නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බොහෝදුරට නැවතී තිබේ. නිවෙස් තුළටම සිරවීමට සිදුවීම නිසා මානසික හැල හැප්පීම්වලට ද ලක්වන මේ දරුවන් ඇඟිලි ගණින්නේ හැකි ඉක්මනින් පාසල් යන දිනයක උදාවක් පිළිබඳයි.

එබැවින් හැකි ඉක්මනින් මෙරට දරුවන් වෙතද එන්නත ලබාදී නැවත පාසල් ආරම්භ කිරීම පිළිබඳ කතිකාවතක් දැන් දැන් ගොඩනැගෙමින් පවතී. මෙරට දරුවන් කොරෝනා වසංගතයට එරෙහිව එන්නත්කරණයට ලක් කිරීමේ දී දීර්ඝකාලීන රෝගාබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙත ප්‍රමුඛත්වය ලබාදීමට අවධානය යොමු වී තිබේ.

විශේෂයෙන්ම කාලයක් තිස්සේ රෝහල් සායන වෙත යොමු වී විවිධාකාරයේ නිදන්ගත රෝග සඳහා බෙහෙත් ලබාගන්නා, වෛද්‍ය අවධානය සහිතව ජීවත්වන දරුවන්ට සේම තවකකුගේ සහය ලබාගෙන කටයුතු කිරීමට සිදුවන යම් යම් ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මෙහිදී ප්‍රමුඛත්වය හිමි වේ.

මේ එන්නත්කරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර වයස අවුරුදු 12ට වැඩි ඉහත සඳහන් විශේෂතා සහිත දරුවන් ඒ සඳහා හඳුනා ගනිමින් පවතී. එමෙන්ම ඔවුන් වෙත ලබාදෙන්නේ ද ෆයිසර් එන්නතයි.

 

ප්‍රධාන රෝහල් තුළ පමණයි

දරුවන් සඳහා වූ මේ එන්නත්කරණය මෙරට රෝහල් තුළ පමණක් සිදු කෙරෙන අතර ඒ සඳහා යොදා ගැනෙන්නේ මූලික රෝහල් සහ ඊට වැඩි ප්‍රධාන රෝහල් ය. එහිදී දරුවා වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට ලක් කෙරෙන අතර අනතුරුව ඔහුගේ නිර්දේශ මත එන්නත ලබාදීම සිදු වේ. මෙතෙක් කාලයක් දරුවා ලබාගන්නා ඖෂධ සහ රෝග විනිශ්චය පිළිබඳ කාඩ්පත් ආදිය මෙහිදී රැගෙන යාම අනිවාර්යය වේ.

 

ලියාපදිංචියය

මේ මස (සැප්තැම්බර් මස) අවසානය වනවිට ලියාපදිංචිය සඳහා විශේෂිත දුරකතන අංකයක් සඳහන් කරනු ලබන අතර අනතුරුව එම අංකය අමතා ඔබේ දරුවාගේ ලියාපදිංචිය ලබා දියහැකියි. ඉන්පසුව අපහසුතාවකින් තොරව එන්නත ලබාගත හැකියි.

 

එන්නත ලබා නොදෙන දරුවන්

නිදන්ගත රෝග හෝ වෙනත් ආබාධ ආදියෙන් පෙළෙන, එසේත් නැතිනම් විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වුවද මේ වනවිට උණ, වමනය, පාචනය වැනි රෝගී තත්ත්වවලින් පෙළෙන්නේ නම් ඔවුන් සඳහා එන්නත ලබාදීම සිදු නොවේ. එම රෝග තත්ත්ව සුව වූ පසුව එන්නත ලබා ගත හැකියි.

එමෙන්ම මේ වනවිට කොරෝනා රෝගය වැළඳී සුවවී මාසයක් ගත වී නොතිබෙන දරුවන් සඳහා ද එන්නත ලබා නොදෙනු ඇත. පළමුවෙන්ම එන්නත් ලබාදීම සිදු කෙරෙනුයේ බස්නාහිර පළාත තුළ පමණි. එය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඇරඹෙන අතර අනතුරුව අනෙකුත් ප්‍රධාන සහ මූලික රෝහල් තුළද එන්නත්කරණය සිදු කෙරේ.

මව්පියන් වූ ඔබ මේ සඳහා කිසිදු බියක්, සැකයක් ඇතිකර නොගත යුතු අතර මේ වනවිට ඔබේ දරුවා බෙහෙත් ලබාගන්නා රෝහල් සායන කාඩ්පත් ආදිය ඉදිරිපත් කිරීම හරහා පහසුවෙන්ම එන්නත ලබාගත හැකි වේ. කොරෝනා යනු මාරාන්තික වසංගතයකි. විවිධ රෝගාබාධ, නිදන්ගත රෝග ආදිය යනු සිරුරේ ප්‍රතිශක්තිය හීන

කරවන්නකි. එවිට කොරෝනා වයිරසයට පහසුවෙන්ම ප්‍රතිශක්තිය හීන සිරුරට රිංගා අපව ලෙඩ කිරීම පහසු වේ.

එබැවින් එන්නත ලබාගෙන ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීම හැර වෙන අන් යමක් වේද?

 

 

උපදෙස් -

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ

වෛද්‍ය ජී. විජේසූරිය