අන්තර්ජාල ක්‍රීඩා මත්ද්‍රව්‍ය තරමට ම භයානකයි

ඔක්තෝබර් 13, 2021

වදන් කවි පොතේ එන මේ පදපෙළ ගැන අපට සිතන්නට හොඳම කාලය උදාවී තිබේ. වසංගතය නිසා දරුවන්ට අධ්‍යාපනය හදාරන්න නොහැකිව අපේ දරුවන් නිවෙසට සිර වී වසර එකහමාරකටත් වැඩිය. එවැනි පසුබිමක යාන්තමින් හෝ අකුරක් ඉගෙන ගන්නට හැකි වුණේ ඔන්ලයින් ක්‍රමයට පිංසිදු වෙන්නටය. නමුත් එයටද කනකොකා හැඬුවේය. දැන් දරුවෝ කබලෙන් ළිපට වැටී අසරණව බලා හිඳිති. මව්පියෝ සුසුම් හෙළති. ගුරුවරු අපේක්ෂා දල්වාගෙන බලා සිටිති.

මේ සියලු අභියෝග මැද ඔක්තෝබර් 05 වැනිදා ගුරු දිනය යෙදී තිබුණි. එදින අපට වත්මන් ගුරුවරයාගේ භූමිකාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නටත් සිතන්නටත් තිබුණි. එවැනි දිනයක් ගැන බොහෝ දෙනකු දැන නොසිටියත් ගුරුවරයකුගේ වටිනාකම අපට තදින්ම දැනෙන සිදුවීම් කිහිපයක් පසුගියදා මාධ්‍යයෙන් දකින්නටත් අසන්නටත් ලැබුණේ හද කම්පා කරමිනි.

මේ සිදුවීම් අතුරින් අපගේ සිත් කම්පා කළ සිද්ධිය වූයේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්තේ පදිංචිව සිටි 16 හැවිරිදි දරුවාගේ මරණයයි. මෙලෙසින් මේ දරුවා මිය යන්නේ online පාඩම්වලට සහභාගි නොවීම නිසා උරණ වූ පියා කොහු මිටෙන් පහරදීමෙනි. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මේ දරුවා සැප්තැම්බර් 30 දා උදෑසන සදහටම දෙනෙත් පියා ගත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙනි පෙනීය. ගාල්ලේ ජනප්‍රිය පාසලක දරුවකු වූ මොහු ඉගෙනුමට දක්ෂයකු වූ අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයාද ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකි.

මෙම පහරදීමේදී මව දෙදෙනා මැදට පැමිණ දරුවා බේරා ගැනීමට උත්සහ කරද්දී පියා මවගේ ඇඟට උඩින් කොසු මිටෙන් ගසා තිබේ. එහිදී පියාගේ කොසු මිටේ පහර පුතාගේ හිසට වැදීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටී ඇත. පසුව දරුවා කරාපිටිය රෝහලට රැගෙන ගියත් පහර හිසට තදින් වැදීම නිසා මෙලෙස මිය ගියේ දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසුවය.

මෙලෙසින් දරුවාට පහරදී ඇති පියා අහංගම පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. තම දරුවාට දඬුවම් කිරීමට පහරදීමෙන් මෙම පියාට සිදුවූයේ තම පුතා ඝාතනය කිරීමේ චෝදනාව මත සිරගතවීමටයි. ක්ෂණික කෝපය නිසා තම අතට හසුවූ කොස්සෙන් ගසා ඇත්තේ දරුවා නිසි මඟට ගැනීමේ අපේක්ෂාවෙනි. මෙලෙස දඬුවම් කර අවසානයේ පියාට සිපිරි ගෙට යෑමට සිදුවිය. එසේම ඉතා ආදරයෙන් දෑත දෙපය නොකඩා වසර 16ක් දස දුක් විඳි හදාවඩා ගත් දරුවා ද අහිමි විය.

මේ පහරදීම හමුවේ පියාගේ දඬුවම් කිරීමේ ක්‍රමය හා පහරදීම සාධාරණීකරණය කළ නොහැකි වුවත් වරදක් නිවැරැදි කරන්නට දරුවකුට දඬුවම් කිරීම හෝ තරවටු කිරීම මව්පියන්ට ඇති අයිතියකි. අප කටවහරේ පවසන ලෙසට "දඬුවම් නොකරන හදන දරුවා හැඳි නොගා හදන කිරි හොද්ද වැනියි" යැයි සැමවිටම කියන්නේ දරුවකුගේ වරදක් දුටුවිට එයට දඬුවම්දීම වරදක් නොවන බව සමාජ මතය නිසාය. එහෙත් තමුන්ගේ හිතට ඇතිවන ක්ෂණික කෝපය මත එක්වරම පහරදීමට යෑම තුළින් ඇතිවන ප්‍රතිඵලය ඉතා භයානකය. විශේෂයෙන්ම අවුරුදු 15 - 20 වැනි නව යෞවන වයසේ දරුවන්ට දඬුවම් කරන විට අප ඉතාම කල්පනාකාරි විය යුතුය. සැමවිටම එවැනි වයසේ දරුවන් වැරැදි මඟට යොමුවීමට ඇති ප්‍රවණතාවය වැඩි බව මව්පියන් තම දරුවන්ට දඬුවම් කිරීමට හෝ පහරදීමට වඩා වඩා ඔවුන්ට සමීපවීම ඉතාම සාර්ථක ක්‍රමයක් බව මනෝ විද්‍යා උපදේශනයන් පෙන්වා දෙයි.

මෙම සිද්ධියට පෙර මාසයේදී ද අපට අසන්නට ලැබුණේ මෙවැනිම ඛේදනීය සිද්ධියකි. ඒ රොටුඹ ප්‍රදේශයේ ජීවත් වූ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලැබූ සෙනුර ප්‍රබෝධ්‍ය නිපුන දරුවා සිය දිවි හානිකර ගැනීමයි. මෙම සිසුවාගේ මරණයට හේතුව වන්නේ පරිගණක ක්‍රීඩා සඳහා දැඩි ලෙස ඇබ්බැහිවී සිටි සෙනුරගේ මව ඔහුගෙන් ජංගම දුරකතනය උදුරා ගැනීමය. සිසුන් 40ක් සිටින පංතියේ පළමුවැනියා වූ සෙනුර තම මව සමඟ උරණ වී තම ජීවිතය අහිමි කර ගත්තේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි. මෙලෙසින් පරිගණක ක්‍රීඩා සඳහා රොටුඹ ප්‍රදේශයේ පාසල් සිසුන් රාශියක්ම ඇබ්බැහි වී සිටින බවට පසුව කළ විපරමේදී අනාවරණය වූ අතර සෙනුරගේ මවට ද ගුරුවරුන් පවසා ඇත්තේ ඔහු online පංති සඳහා සහභාගි නොවන බවයි.

මේ සිදුවීම් දෙකම හමුවේ සමස්ත සමාජයටම එල්ල වී ඇත්තේ භයානක රතු එළියකි. එහෙන් රටේ පවතින පසුබිම මත දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ඇති එකම විකල්පය online ක්‍රමයයි. මෙම online ක්‍රමය නිසා ඇතිවී තිබෙන අර්බූදය හමුවේ අපට ඇති විසඳුම කුමක්ද? මේ ගැන විමසීමක් කළේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතාගෙනි. ඔහු ඒ ගැන 'තරුණී'ට ගැඹුරින් විග්‍රහ කළේ මෙලෙසිනි.

‘‘online අධ්‍යාපන ක්‍රමය නිසා අද බොහෝ දරුවන්ගේ අතට phone එකක් ලැබිලා තියෙනවා. ඒ නිසා දරුවෝ සමාජ මාධ්‍යවලට යොමු වෙලා විවිධ අනතුරුදායක සිද්ධි ඇතිවීම අපට අසන්න දකින්න ලැබෙනවා. ඇත්තටම මෙයට ප්‍රධානම හේතුව තමයි Lock down එකත් එක්ක ළමුන් ගෙදරට කොටුවීම. මේ නිසා දරුවන්ට විශාල පාළුවක් හුදකලාවක් දැනෙනවා. ඒ පාළුව හුදකලාව මකාගන්න දරුවෝ සමාජමාධ්‍ය යොදා ගන්නවා. ඔවුන් එම මාධ්‍ය හරහා විවිධ ක්‍රියාකාරකම් සිදු කරනවා. නමුත් ඔවුන් භාවිතා කරන සෑම දෙයම විනාශකාරි වෙන්නේ නැහැ. මේ දරුවන්ට පංති පවත්වන්න, තොරතුරු සොයා ගන්න, ගුරුවරුන් සමඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න සමාජ මාධ්‍ය යොදා ගැනීම ඉතාම වැදගත්. නමුත් මේ හැම දරුවෙක්ම එක වගේ නෙවෙයි. ඇතැම් කුඩා දරුවෝ නොදැනුවත්කම නිසා අනවශ්‍ය දෙයට යොමු වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 18ට වඩා අඩු දරුවෝ තමයි මෙලෙස අවභාවිත කරන්නේ. දරුවන් අන්තර්ජාලයට පිවිසීම, සමාජමාධ්‍ය භාවිතය, වීඩියෝ නැරැඹුම ගැන වැඩිහිටියන් සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතුමයි. විශේෂයෙන්ම අන්තර්ජාලයේ ඇති වීඩියෝ game ඉතාම භයානකයි. ඒවා හදලා තියෙන්නේ දරුවන් ඒවාට ඇබ්බැහිවෙන ආකාරයට. ඒවා මත්ද්‍රව්‍ය තරමටම භයානකයි. කණ්ඩායම් වශයෙන් අන්තර්ජාලයේ කරන ක්‍රීඩා 4 - 5 ක් ඉතාම භයානකයි. ඒවාට දරුවෝ ඉක්මණින් ඇබ්බැහි වෙනවා. මේවාට හුරුවුණු දරුවෝ පැය 7 - 8 එක දිගට මෙහි ක්‍රීඩා කරනවා. එවිට දරුවන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. එසේම ශාරීරික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය පිරිහෙනවා. ඔවුන් ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. කෑම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. සමාජශීලී බව නැතිව හැංගෙනවා.

මේවාට දරුවන් ඇබ්බැහිවීම ප්‍රධාන හේතුව තමයි බොහෝ මව්පියන්ට සහ ඇතැම් ගුරුවරුන්ට නවීන තාක්ෂණය භාවිතය ගැන අවබෝධයක් නොවීම. බොහෝ මව්පියන්ට දරුවන්ට සමාජමාධ්‍යවල යන්න ඉඩ දුන්නාට එම මාධ්‍ය භාවිතා කරන ආකාරය කියා දෙන්න දන්නේ නැහැ. ඒවා නිවැරැදිව භාවිතා කරන ආකාරය ගැන සමහර ගුරුවරුන්ටත් දැනුමක් නැහැ. ඒ සඳහා ආයතනත් නැහැ. හරියට මේක දරුවකුට පිහියක් දීලා, ඒ පිහියෙන් කපන හැටි කියා නොදෙනවා වගේ වැඩක්. ඒ නිසා තමයි දරුවන් විවිධ උගුල්වලට හසු වෙන්නේ.

සමහර සංවිධානාත්මක කල්ලි සහ පුද්ගලයින් මේ කුඩා දරුවන් වැරැදි දෙයට යොදා ගන්නා අවස්ථා තිබෙනවා. ඇත්තටම ඒවායින් ගැළවීම ගැන අපි ගුරුවරු මව්පියන් ලෙස කියා දිය යුතුම දෙයක්. මේ වගේ අවස්ථාවලදී අන්තර්ජාලය දරුවන්ට ස්වාධීනව භාවිතා කිරීමට ලබා නොදීම ඉතා වැදගත්. ඔවුන්ට කුඩා දරුවන්ට එසේ අන්තර්ජාලය භාවිතා කරන්නට දරුවාට දෙන විට උපක්‍රම තිබෙනවා. විශේෂයෙන් දරුවන්ට අන්තර්ජාලය භාවිතය සඳහා ජංගම දුරකථනය වෙනුවට Laptop උපකරණයක් ලබාදීමෙන් එය ඔබට ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එසේම වරින්වර ඔවුන් කරන දේ නිරීක්ෂණය කරමින් කරන කාර්යය ගැන සොයා බැලීම ඔබ කළයුතුමයි.

එසේ කිරීමෙන් දරුවන් මේවාට ඇබ්බැහිවීම මුල් අවස්ථාවේම ඔබට ඉතා පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. එලෙස ඇබ්බැහි වී

සිටිනවා නම් අන්තර්ජාලය තුළ ඔවුන් එවැනි දෙයක් කරනවා දුටු විට ඔබ එක්වරම කලබල වෙන්න එපා. මුලින්ම දරුවා සමඟ ඒ ගැන හොඳින් කතා කරන්න. එහි භයානකකම ගැන දරුවාට අවබෝධ කර දෙන්න. දරුවන් සැම විටම අන්තර්ජාලයේ ඉන්නවා නම් හිතන්නේ game ගහනවා නැතිනම් අනවශ්‍ය ලෙස අන්තර්ජාලයේ සැරිසරනවා කියලා. දරුවෝ සමහර විට අන්තර්ජාලයේ අධ්‍යාපනය ලබන විට වරදවා වටහා ගන්න පුළුවන්.

ඇත්තටම එකපාරටම මේ ගැන සොයා නොබලා දරුවන්ගෙන් දුරකතනය ඈත්කිරීම වැරැදි දෙයක්. එසේ ඇබ්බැහි වී ඇතිනම් ඔබ පළමුව කළ යුත්තේ කරුණු පැහැදිලිකරමින් අවවාද කරන්න. ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් එයින් ඈත් කරන්න උපදෙස් දෙන්න. ඔවුන්ට වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොමු කරන්න. මෙවැනි අවස්ථාවක දරුවන්ට කේන්ති ගිහින් මව්පියන් හතුරෝ ලෙස දකිමින් පහර දෙන්න, ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතුය. ඇත්තටම දැයේ දරුවන්ට විනෝද වෙන්න ක්‍රීඩා කරන්න තියෙන අවස්ථා අඩුයි. අඩුම වශයෙන් තමුන්ගේ වත්තේ පිටියේ වැඩටවත් යොමුවිය යුතුය. මේ වගේ ප්‍රචණ්ඩවුණු දරුවෝ අපට නිරතුරුවම හමු වෙනවා. මෙය සිද්ධි දෙක තුනක් නොවෙයි. දවසින් දවස වැඩිවීම ඉතාම භයානකයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.