නිවැරැදිව සෞඛ්‍ය නීති පිළිපදිනවා ද?

මරණය ළඟා කර ගන්නවා ද? තීරණය ඔබ සතුයි
ඔක්තෝබර් 21, 2020

මුහුණු ආවරණයක් පැලඳීම කෝවිඩ් වසංගතය පැතිරීම වලකා ගැනීමට සාර්ථක ක්‍රමයක් බව අනාවරණය වී දැන් මාස ගණනාවකි. මෙහි වැදගත්කම නිරතුරුවම දැනුවත් කළත් බොහෝ දෙනකු නිවැරැදිව මුහුණු ආවරණයක් භාවිත කරන ආකාරයක් හා පලඳින ආකාරයක් නොපෙනේ.

මේ නිසාම රජය මුහුණු ආවරණ පැලඳීම සඳහා නීති පැනවීමටත්, දඩ නියම කිරීමටත් සිදු විය. එසේම පොලීසියේ සහ හමුදාවේ නිලධාරීන් යෙදවීමට ද සිදු වී තිබේ.

මෙම වසංගතය නීති පැනවීමෙන් හෝ දඩ නියම කිරීමෙන් පමණක් පාලනය කළ නොහැකි ක්‍රියාවලියකි. මෙම රෝගයේ භයානකත්වය හා ඒ සඳහා අප අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් තමුන් විසින් පිළිපැදීම හා අනුගමනය කිරීම සමාජ වගකීමකි. එයින් තමුන් පමණක් නොව මුළු සමාජයම ආරක්ෂා වීම සිදු වෙයි. රෝගයෙන් වැළකී සිටීමෙන්, රෝගය පැතිරීම වැළකීමටත් අප මුල සිටම ක්‍රියා කළේ නම් මෙම තත්ත්වය උග්‍ර නොවනු ඇත. එහෙත් ඇතැම් පුද්ගලයන් හැසිරෙන්නේ එම සමාජ වගකීම තේරුම් නොගෙනය. ඔවුන් සිදු කරන එම වැරැදි නිසා සමස්ත සමාජයම අනතුරකට මුහුණ දී තිබේ. අපි මේ සමාජ වගකීම මැනවින් හඳුනා ගනිමු. අපට පෞද්ගලිකව අනුගමනය කළ හැකි සෞඛ්‍ය පිළිවෙත් හෝ නිවැරැදිව පිළිපදිමු. එවිට මෙම රෝගී තත්ත්වය පාලන කර ගනිමින් මෙයින් අප රට බේරා ගැනීමට හැකි වනු ඇත. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය නීති හා පිළිවෙත් මාලාවක් හඳුන්වා දී තිබේ. එම නීති මාලාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද අනුමත කළ සම්මත නීති මාලාවකි. එය අනුගමනය කිරීමෙන් ඔබත් ඔබගේ පවුලේ සාමාජිකයන් හා නෑ හිත මිතුරන් ද ආරක්ෂා වෙන අතර එය මුළු සමාජයටම කරන මහඟු මෙහෙවරකි. අවම වශයෙන් මේ වසංගතයෙන් මිදීමට මුහුණු ආවරණයක් හෝ නිවැරැදිව පැලඳීම අපේ වගකීමකි.

මුහුණු ආවරණ භාවිතය පිළිබඳ පොදු මඟ පෙන්වීම

* මුහුණු ආවරණයක් පැලඳීමෙන් බිඳිති මඟින් බෝ වන රෝගවලින් ආරක්ෂාව ලැබෙන අතර කෝවිඩ් 19 සඳහා සම්පූර්ණ ආරක්ෂාව ලැබෙන්නේ නැත. එය අනෙකුත් මිනුම් (භෞතික දුරස්ථභාවය, ශ්වසන ආචාර විධි, විසබීජ නාශක විධි) සමඟ ඒකාබද්ධව භාවිත කළ යුතුයි.

* මුහුණු ආවරණයක් පැලඳ සිටියදී පවා අවම වශයන් මීටර් 1 ක භෞතික දුරස්ථභාවයක් සහතික කිරීම වැදගත්ය.

* මුහුණු ආවරණ පැලඳීමේ දී නිවැරැදිව, අවශ්‍ය විටදී අවශ්‍ය ආකාරයට පැලඳීම කළ යුතුය.

* මුහුණු ආවරණ පැලඳීම මඟින් කෝවිඩ් 19 ආසාදනය වී ඇති නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ගෙන් රෝගය පැතිරීම අවම කෙරේ.

මුහුණු ආවරණයක් භාවිත කීමට ඔබට අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවලදීද?

* පුද්ගල දුරස්ථභාවය මීටර 1 ක් පවත්වා ගැනීමට අපහසු හා අමුත්තන්/නාඳුනන පුද්ගලයන් මුණගැසෙන විටදී (උදා - පොදු ප්‍රවාහනය, සාප්පු යාම) මුහුණු ආවාරණ පැලඳිය යුතුය.

* අවුරුදු 2 ට අඩු කුඩා දරුවන්, හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය, සිහිසුන්ව හෝ නොහැකියාවෙන් පෙළෙන පුද්ගලයන් හෝ වෙනත් ආකාරයකින් ආධාර නොමැතිව මුහුණු ආවරණ ඉවත් කිරිමට නොහැකි අය මුහුණු ආවරණ භාවිත නොකළ යුතුය.

* ව්‍යායාම කිරීමේදී (පාපැදි පැදීම ඇතුළුව) මුහුණු ආවරණයක් පැලඳීම සුදුසු නොවේ.

* රෝගීන් සමඟ සම්බන්ධ නොවන අය වෛද්‍ය මුහුණු ආවරණ මුහුණු පැලඳිය යුතු නැත. මේවා සෞඛ්‍ය සේවකයන් සඳහා වෙන් කළ යුතුය. මහජනයාට ම්ව් 95 මුහුණු ආවරණ හෝ ඒ හා සමාන ශ්වසන උපකරණ පැලඳීමට අවශ්‍යතාවක් නොමැත.

අනිවාර්යයෙන්ම පැලඳිය යුතු අවස්ථා

* අවම වශයෙන් මීටර 1 ක පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු වන පොදු ස්ථානවලදී.

* ඔබ නොදන්නා පුද්ගලයන් මුණ ගැසෙන පොදු ස්ථානවල/අවස්ථාවල දී

* පොදු ප්‍රවාහනය භාවිත කරන විට.

* උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්.

* ශ්වසන රෝග ඇති අයව රැක බලා ගන්නා පුද්ගලයින්.

* නිවෙසින් පිටවන විට ඉහළ අවදානම් කණ්ඩායම් - උදා - වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් සහ හෘද රෝග, දියවැඩියාව, තරබාරුකම, ප්‍රතිශක්තිකරණ ගැටලු හෝ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්.

මුහුණු ආවරණයක් නිසි ලෙස භාවිත කරන්නේ කෙසේද?

*රෙදි හෝ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ වුවද කෙනකුට එය පැලඳිය හැක්කේ පැය 6-8 දක්වා පමණි.

* ඔබේ මුහුණු ආවරණ පැලඳීමට පෙර සබන් ගා වතුරෙන් අත් සේදීම හෝ ඇල්කොහොල් අඩංගු සනීපාරක්ෂක දියරයක් භාවිත කරන්න.

* මුහුණු ආවරණය ඔබේ නාසය, මුඛය සහ නිකට ආවරණය වන ලෙසට පැලඳීමට වග බලා ගන්න. ඔබේ නාස්පුඬු පිටතට/නාසයට පහළින්, බෙල්ල වටා හෝ ඔබේ හිසට ඉහළින් මුහුණු ආවරණය පැලඳීමෙන් වළකින්න. එය නැවත නැවත භාවිත නොකරන්න.

* කතා කරන විට මුඛය නිරාවරණය කිරීම සඳහා එය දිගින් දිගටම පහත් කිරීම හෝ නැවත නැවත සකස් කිරීමෙන් වළකින්න.

* ඔබට මුහුණු ආවරණය තාවකාලිකව ඉවත් කිරීමට අවශ්‍ය නම් (ආහාර ගැනීමේදී/පානය කරන විට වැනි) මුහුණු ආවරණය පිටතට නැවී ඇති ආකාරයට එය නමා පිරිසුදු බෑගයක/කඩදාසි බෑගයක/ලියුම් කවරයක තබන්න. මුහුණු ආවරණය මේසය මත/පුටු/තාවකාලිකව ඔබේ සාක්කුවල තබා නොගන්න. ඔබ එය නැවත අඳින තුරු ඒවා පිරිසුදු බෑගයක තබා ගැනීමට වග බලා ගන්න.

* ඔබේ හිස පිටුපස හෝ කන් පිටුපස ඇති ලූප ග්‍රහණය කර ඔබේ මුහුණෙන් ඉදිරියට හා ඉවතට ඇදගෙන මුහුණු ආවරණය ඉවත් කරන්න. මුහුණු අවාරණයේ ඉදිරිපස ස්පර්ශ නොකරන්න. සුදුසු බෑගයක් තුළට දැමීමෙන් පසු මුහුණු ආවරණය ක්‍රමවත් ලෙස බැහැර කරන්න. ඔබේ අත් නැවත සබන් ගා වතුරෙන් සෝදන්න.

* ඉවත දැමිය හැකි නම් පියනක් සහිත සංවෘත බඳුනක මුහුණු ආවරණ ඉවතලන්න. එය නැවත භාවිත කළ හැකි රෙදි ආවරණයක් නම්, සබන් ගා වතුරෙන් සෝදා ගත හැකි වන තෙක් එය වෙන් වූ බෑගයක තබන්න.

* මුහුණු ආවරණය භාවිත නොකළ හැකි තත්ත්වයකට පත් වුවහොත් එය ඉවත දමන්න. නැතහොත් හොඳින් සබන් යොදා සේදීමෙන් පසුව හොඳින් වේළා නැවත පාවිච්චි කරන්න.

* අමතර මුහුණු ආවරණයක් නිතරම ඔබ සමඟ තබාගෙන භාවිත කළ රෙදි ආවරණ ගබඩා කිරීම සඳහා වෙනම කඩදාසි බෑගයක්/මල්ලක් තබා ගන්න. සේදීම සඳහා මුහුණු ආවරණය ගත් පසු කඩදාසි බෑගය ද ඉවත දැමිය යුතුය. එය නැවත භාවිත කළ හැකි බෑගයක්/මල්ලක් නම් මෙය සබන් ගා වතුරෙන් සෝදා ගත යුතුයි.

* ඔබේ මුහුණු ආවරණය අන් අය සමඟ බෙදා නොගන්න.

* ඔබේ රෙදි ආවරණ ඔබේ නිවෙසේ අනෙක් අය සමඟ මිශ්‍ර නොවන පරිදි ලේබල් කරන්න.

තොරතුරු : සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන්