ඇය පවුලට ළැදි තැනැත්තියක් වීම මගේ සිත් ගත්තා

ඔක්තෝබර් 21, 2020

- රොෂාන්

තරුණියකට පංච කල්‍යාණයෙන් යුතු රුව මෙන්ම තරුණයකුට කඩවසම් බව ද එක සේ ආකර්ෂණය කැඳවයි. කඩවසම් බව නිසා කිරුළු පැළඳි ඔහු ලංකාවේ කඩවසම් ම තරුණයා ලෙසින් අප හඳුනා ගන්නේ 2001 වසරේ දී ය. තරු ගුණයෙන් යුතු නළුවන් සිංහල සිනමාවේ නොමැති මොහොතක ඔහුගේ සිනමා ආගමනය කඩවසම් නළුවකුගේ හිඩැස් පිරවීමක් විය.

'හිරිපොද වැස්ස' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු 'ආසයි මං පියාඹන්න', 'සුවඳ දැනුණා ජීවිතේ', 'සුපර් සික්ස්', 'උලත් එකයි පිලත් එකයි', 'රේන්බෝ', 'සුබා තෙරණියෝ,' 'කුසපබා' ආදී චිත්‍රපට හරහා රොෂාන් රණවන යන නම සිනමා රසිකයන් අතර රැඳවීමට සමත් විය. නළුවකු ලෙස නමක් දිනා ගත්ත ද නිරහංකාර චරිතයක් වීම නිසාම වඩාත් ජනපි‍්‍රය නළුවකු වීමට රොෂාන්ට හැකි වන්නේ නිතැතිනි.

හැම විටෙකම සිනාවකින් මුව සරසාගෙන සිටින මේ සරල තරුණයා ආදරණීය සැමියෙකි, පියෙකි. අද අපි ආදරණීය හෝරාවක් ගත කිරීම සඳහා තෝරා ගත්තේ රොෂාන් රණවන හා කුෂ්ලානිගේ ආදරණීය කැදැල්ලයි.

රොෂාන්ගේ කුඩා කාලය ගෙවුණේ කොහොමද?

මගේ පවුලේ හිටියේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. මම ඉපදුණේ රත්මලානේ.. වයස අවරුද්දක් දෙකක් වගේ වෙනකොට වත්තලට ආවා. මරදානේ ශාන්ත ජෝශප් පාසලට තමයි මම ගියේ. පස්සේ උසස් පෙළ කරන්න ආසියානු ජාත්‍යන්තර පාසලට (AIS ) ගියා.

පාසලේදිත් කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?

පාසලේ දී මම කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ. ඒත් මම ගීතිකා කණ්ඩායමට හැම වසරේදී ම වගේ තෝරා ගත්තා. මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ ඒකට යන්න. ඒත් මාව තෝරගන්න නිසා සහභාගී වුණා. ඒ වගේම පොඩි කාලෙදි ගායනා තරගවලටත් මාව තෝරා ගත්තා. ඒත් මම ඒවට ගියේ නෑ. මට ඒ කාලේ ස්ටේජ්වල නැගලා ඉදිරිපත්වීම් කරන්න බැරි සබකෝල ගතියක් තිබුණා. පුහුණුවීම් වලටත් ගිහින් අන්තිම දවසේ තරගෙට යන්නෙ නෑ.

මේ සිද්ධියෙන් ටික කාලයකට පස්සේ අම්මා මාව ක්ලෝඩ් ප්‍රනාන්දු කියන සංගීතවේදියාගේ සංගීත පාසලට අරගෙන ගියා. මේකේ මියුසික් ට්‍රේනිං, ඩ්‍රාමා වගේ හැම දේම තිබුණා. මම මේ හැමදේම කළා විතරක් නෙවෙයි ඒකෙ ඉදිරියෙන් ම ඉන්න කෙනෙක් වුණා. ඒකෙ සංගීත පුහුණුවීම් කළ ගුරුවරයා අපේ අම්මගෙන් ඇහුවා මෙයාට හොඳ හඬක් තියෙනවනේ, ඇයි ගායනා තරගවලට දැම්මෙ නැත්තේ කියලා. අපේ අම්මා කිව්වා තරගෙට තෝරගෙනත් මම ගියේ නෑ කියලා. ඔහු තමයි එදා තරගෙට ඇවිත් තිබුණ විනිසුරුවරයා. 'එදා තේරුණ ළමයා මෙයාගේ ළඟින්වත් තියන්න බෑ, අපරාදේ.. ආවනම් ඔයානේ දිනන්නේ..' කියලා කිව්වා.

ඒ වගේ ලැබුණු අවස්ථා මම මඟහැර ගත්තා. අම්මගේ වුවමනාවට තමයි මම නළුවෙක් වුණෙත්. මට හොරෙන් අම්මා ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණා.

* නිරූපණ ශිල්පියෙක් විදියට වැඩ කරන්න ඒ සබකෝලය බලපෑවේ නැද්ද?

2001 වසරේ දී මම නිරූපණ ශිල්පියෙක් විදියට තමයි කලා ලෝකයට ආවේ.. මට ඒක ලොකු අමාරු දෙයක් වුණේ නෑ. මම ආසියානු ජාත්‍යන්තර පාසලේ ඉන්න කාලේ ඒකෙ ඉන්න ගුරුවරියක් තමයි මාව නිරූපණ ක්ෂේත්‍රයට යොමු කළේ. ඇගේ දියණිය නිරූපිකාවක් විදියට වැඩ කළා. රමණි ප්‍රනාන්දු මහත්මිය හා මයිකල් විජේසූරිය මහතාගේ වසරක් පාසා පැවැත් වූ මනාලියන් දැක්මේ දී තමයි මම නිරූපණ ශිල්පියෙක් විදියට මුලින් ම කටයුතු කළේ. ඉන්පස්සේ දිගින් දිගටම ඒ කටයුතු කළා. වෙළෙඳ දැන්වීම්වලත් පෙනී හිටියා.

ඒත් මිස්ටර් ශ්‍රී ලංකා වගේ තරගවලට යන්න කැමැත්තක් තිබුණේ නෑ.. ඒවයේදී ස්ටේජ් එකේ කතා කරන්න වෙනවනේ.. ඒත් ඒකටත් මගේ අම්මා තමයි ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණේ. ඒ වසරේදී ම මිස්ටර් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා එහි ජයග්‍රහකයා වූ නිසා තවත් අන්තර්ජාතික තරග හයකට පමණ සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එයින් සමහර තරගවලින් යම් යම් ජයග්‍රහණ ලබන්නත් මට හැකි වුණා. ඉන් පස්සේ හිරිපොද වැස්ස චිත්‍රපටයෙන් සිනමාවට ආවේ 2004 දී..

ඇත්තට ම මම මේ තත්ත්වෙට ඇවිත් ඉන්නේ මගේ අම්මා නිසා. අම්මා තමයි මාව හැම වෙලේම මේ දේවල්වලට යොමු කළේ. අම්මා නොහිටින්න මම කවුරුවත් නොදන්න, සාමාන්‍ය තරුණයෙක් වෙන්න තිබුණා...

පාසල් කාලයේ මොන ක්ෂේත්‍රයකින් ඉහළට යන්නද කැමැත්තක් තිබුණේ?

මම විද්‍යා විෂය ධාරාවෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා මගේ කැමැත්ත තිබුණේ විද්‍යාඥයෙක් වෙන්න. පස්සේ මේ දේවල් වෙනස් වුණා.

මම හිතපු නැති පැත්තකින් තමයි මගේ දියුණුවේ පාර වැටිලා තිබුණේ..

ඔබට ජීවන සහකාරිය වුණ කුෂ්ලානිව මුණ ගැහෙන්නේ කොහොමද?

කුෂ්ලානි අපේ සීයලාගේ අසල්වාසීන්. නිතර අපි දැකලා, හමුවෙලා තිබුණත් වැඩිය කතාබහ කරලා තිබුණේ නෑ. ආසියානු ජාත්‍යන්තර පාසලේ දී අපි දෙන්නම එකම පාසලේ හිටියත් අපි එකිනෙකාව දන්නවා වුණත් කතාබහක් තිබුණෙ නෑ. පස්සෙ දවසක ආච්චිලාගේ ගෙදර සීයගේ උපන්දිනය වෙනුවෙන් ලොකු දානයක් තිබුණා.

 

2020/10/21 තරුණි බලන්න.