කෝවිඩ් අලුත් ම රැල්ලට දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් ‘සුව ධරණී’

ඔක්තෝබර් 21, 2020

ජීවිතයට නිරෝගීබවේ යහපැවැත්ම, ස්වස්ථතාව ගෙන එනුයේ ආයුර්වේදයයි. සොබා දහමට අනුගත වෙමින් රෝග සුවකරන පිළිවෙතක් ඇත්නම් එය ඇත්තේ ද ආයුර්වේදය තුළයි. රෝග සුව කිරීම, රෝග විනිශ්චය පමණක් නොව ඉන් ඔබ්බට ගොසින් ආයුර්වේදයේ පිහිට නිසියාකාරයෙන් ලබන්නේ නම් වර්තමානයේ කොවිඩ් වසංගතයට එරෙහිව පහසුවෙන් ම සටන් කිරීමට හැකිවනු ඇත.

කෝවිඩ් 19 රෝගය ඇතිවීම වැළැක්වීමට, රෝගය පාලනය කරගැනීමට, රෝගයෙන් ඇතිවන සංකූලතා අවම කරලීමේ අරමුණින් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදකයන් විසින් නිපදවන ලද සුවධරණී පාරම්පරික වට්ටෝරුවකට අනුව සැකසූ ඖෂධීය පැකැට්ටුව කැපී පෙනෙන අන්දමින් කටයුතු කරනු ඇත.

පෙරට වඩා වෛරසය වැඩියෙන් ශරීරගත වී

දෙවැනි රැල්ලක් ලෙසින් ආ කොවිඩ් - 19 වෛරසය ශරීරගත වූවන්ගේ රෝග ලක්ෂණ එතරම් විදහා නොදැක්වුව ද පෙරට වඩා මෙයට ගොදුරුවූවන්ගේ සිරුර තුළ වෛරසය වැඩි වශයෙන් ශරීරගත වී ඇත. පළමු රැල්ල රටවාසි සියලුදෙනාගේ අප්‍රතිහත කැපවීම මත සාර්ථකව ජයගත් බව අප කවුරුත් දන්නා දෙයකි. ඒ අනුව පසුගිය මාස දෙකක පමණ කාලය බොහොම නිදහසේ ගත කරන්නට අවස්ථාව ලැබුණි. එහෙත් විදෙස් රටවල සිට වරින්වර අපේම සහෘදයින් පැමිණෙද්දී අනතුරක සේයාව පෙනෙන්නට තිබිණි. අළු යට සැඟවුණු ගිනි පුපුරක් එක්වරම දලුලන්නා සේ මෙවර කෝවිඩ් 19 වෛරසය ශරීරගතවූවන් වාර්තා වූයේ පොකුරු පොකුරු ලෙසිනි. කෝවිඩ් 19 බරපතළ ඉලක්කය වූ පිරිසක් සිටින ඉන්දියාව අපේ අසල්වැසි රට වු නිසාම මේ අනතුරේ භයානකකම වැඩිවන්නට විය.

සුව පුරුදු ඈත් වුණා දෝ

එසේම කොවිඩ් 19 ත් සමඟින් අපේ ජීවිතවලට බද්ධ වුණු සෞඛ්‍යමය හා සමාජමය යහපුරුදු බොහෝ අය වෙතින් තරමක් ගිලිහුණු බව ද අමතක කරලිය නොහැකියි. පෙණහැල්ල ආශ්‍රිත රෝග තත්ත්වයක් නිසා මුඛය හා නාසය ඔස්සේ, මෙහි බෝවීම සිදුවනුයේ. බටහිර වෛද්‍ය ක්‍රමය වේවා, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වේවා මෙවැනි අවස්ථාවක දී නිරෝධායන ක්‍රියාවලියට හොඳින්ම අනුගත විය යුතුවේ.

අතීතයට දිවයන නිරෝධායන ක්‍රියාවලිය

නිරෝධායන ක්‍රියාවලිය වසර 3000, 4000 ක් පමණ අතීතයට දිවයන්නකි. දෙවියන්ගේ ලෙඩ යනුවෙන් හැඳින්වූ සරම්ප, පැපොල, කම්මුල්ගාය මේ ආදී රෝග වැලඳුණු විට දී අප අනුගමනය කළ හා තවමත් බොහෝ පිරිස් අනුගමනය කරන පිළිවෙත් මේ වසංගත තත්ත්වය සඳහා ද මනාව ගැළපේ. රෝගියා හොඳින් වාතාශ්‍රය ලැබෙන හුදකලා කාමරයකට දමා අසල කාමරයක වැඩිහිටියකු ඉඳිමින් ආරක්ෂාව සපයමින්, යන්ත්‍ර මන්ත්‍ර ආදිය දමා මානසික ශක්තියක් ගොනු කරයි, සමාජයට රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා කොහොඹ කොළ අත්තක් එල්ලයි. වැට කඩුල්ලෙහි කොහොඹ අත්තක් එල්ලා අසල්වැසියන්ට ද මෙම නිවෙසේ බෝවන රෝගියකු සිටින බව සන්නිවේදනය කරයි. ගමේ වෙදමහතාගේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරයි.

වසංගත රෝග තත්ත්වයක දී එලෙස ක්‍රියා කළ අයුරු වසර ගණනාවකට පසු දැන් සැවොම අත්දකියි. කෝවිඩ් රැල්ලත් සමඟින් මුඛ ආවරණයක් පැලඳීම, දෑත් පිරිසුදු කිරීම, සමාජ දුරස්ථභාවය යන අංගයන් කෙරෙහි තිබූ අවධානය දැන් අඩුවී යෑමත් සමඟින් තවත් කෝවිඩ් රැල්ලක් හා පොරබදින්නට අපට සිදුවිය. දැන් අපට ප්‍රගුණ කරන්නට වන්නේ කෝවිඩ් වෛරසයත් සමඟ අප සාමාන්‍ය දිවිපෙවෙත ගත කරන්නේ කොහොමද? යන කාරණයයි.

මේ සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගන්නට බටහිර වෛද්‍ය විද්‍යාවට නොහැකි වී ඇත.

රෝගය සෑදෙයි. ඉන්පසු සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණය මත ඊට විරුද්ධව ප්‍රතිදේහ සාදමින් මැඩ පවත්වයි.

හෙළ වෙදකමේ පිහිට එදත් අදත් හෙටත්

අපේ රටේ සිටිනුයේ රන් කිරි කට ගෑ දිනයේ සිට කසාය සුවඳ, රස නාසය අගට දැනෙන අයයි. රත කල්කයෙන් පටන් ගෙන උණක්, හෙම්බිරිස්සාවක දී ඉඟුරු ටිකක්, කොත්තමල්ලි ටිකක්, පත්පාඩගම් ටිකක් බොන්න දෙන්නට අපේ අම්මලා, තාත්තලා හුරුව සිටියි. හෙළ වෙදකමේ ශක්තිය නිසාම ප්‍රතිශක්තිකරණය අතින් ඉහළ මට්ටමක සිටින්නට හැකියාව අපට ලැබී තිබේ..

කෝවිඩ් හමුවේ මරණ අනුපාතිකය ඉතාම අඩු ගණනක ඉන්නට හැකි වී තිබෙන්නේත් මේ නිසායි. අපේ ජානවලටම මෙවැනි දේට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බව පිළිගත යුතුවේ. මේ සියල්ල අපට ලැබුණේ අපේ ආහාර රටාව, ඇවතුම් පැවතුම්, දේශීය වෙදකමත් සමඟිනි. දේශීය වෙදකමින් රටට දැනෙන, මිනිසුන්ට දැනෙන්න යමක් කළ යුතුයි යන දැඩි අධිෂ්ඨානයක සිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ බලාපොරොත්තු මල්පල ගැන්වී ඇති බවක් හැඟේ. විද්වත් මණ්ඩලයක් එකතුව පාරම්පරික ඥානය ද කැටිකරගනිමින් රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සහයෝගයෙන් එකම ප්‍රමිතියකට අනුගත වෙමින් ‘සුව ධරණී’ ඖෂධ පැකැට්ටුව නිෂ්පාදනය විණි. පසුගිය සතියක පමණ කාලයේ ලංකාවේ ඉහළ පෙළේ ආයුර්වේද නිෂ්පාදන ආයතන හා ආයුර්වේද දෙපාර්තමේන්තුව යන සියල්ල කැපවූයේ කෝවිඩ් සඳහා ම වූ මෙම ‘සුව ධරණී’ ඖෂධ පැකැට්ටුව වෙළෙඳපොළට නිකුත් කිරීමටයි. ග්‍රෑම් 50 ක පමණ පැකැට්ටුවක් රුපියල් 120 ක් වැනි මුදලකට ලබාගතහැකියි.

පාවිච්චි කරන අන්දම

එක පුද්ගලයකුට දින 10 ක් පුරාවට උදේ සවස තේ හැඳි 1/2 ක් උණුවතුර කෝප්පයකට දමා විනාඩි 5 ක් පමණ වසා තබා සීනි හෝ මීපැණි සමඟ බීමටයි ඇත්තේ.

 

උපදෙස්

සෙත්සුව ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අධිපති, දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අමාත්‍යංශ උපදේශක ආයුර්වේද වෛද්‍ය

සුජීව විතානගේ

 

 

2020/10/20 තරුණි බලන්න.