මවගේ සුව පුරුදු දරුවාගේ නීරෝගි බවට බලපානවා

ඔක්තෝබර් 21, 2020

පුංචි පැටියා ලෝකෙට එන්නෙ ඉහෙන් බහින රෝගයක් නැතුවයි. පුංචි ගත හරියට මල් පෙති වගෙයි. හුළඟකින්වත් හානිවෙලා නෑ. ඒත් මවු කුසේදි ලැබුණු රැකවරණය බාහිර ලෝකයේදී පුංචි පැටියට ලැබෙනවද? කොහෙත්ම නැහැ. වෛරස්, බැක්ටීරියා, දිලීර ආසාදන සුලබ වටාපිටාවකටයි චූටියා ඇවිත් තියෙන්නෙ.

මවුකිරි දෙන කාල සීමාවේ එනම් මුල් මාස හයේදී දරුවා ආහාරයෙන් සුරක්ෂිතයි. ඒත් ඝන ආහාර දීමට පටන් ගත් පසු ආහාර නිසා ද දරුවාට සෞඛ්‍ය ගැටලු මතු වෙන්න පුළුවන්.

මලක් වගේ ප්‍රබෝධවත්ව හිටිය දරු පැටියා එක්වනම මලානික වුණොත් ඊට බැක්ටීරියා, වෛරස වැනි විසබීජ වගේම තවත් හේතු නිසා ඇතිවන රෝග ගණනාවක්ම බලපානවා. එක් හේතුවක් පාචනය.

මෙය දරුවන් අතර සුලබ රෝගයක්. නියමිත ප්‍රතිකාර නොලැබුණොත් දරුවා විජලනයට පත්වීමට වෙනත් සංකූලතා ඇතිවීමට පුළුවන්. මාස හයට දරුවන් විජලනයට පත්වීමට වැඩි ඉඩක් පවතිනවා.

දරු පැටියන් පාචනයට ගොදුරුවන්නේ ඇයි?

චූටි පැටියන් වැඩිපුරම පාචනයට ගොදුරු වෙන්නේ වෛරස් ආසාදන නිසයි.

මෙවිට දරුවාට කහ, කොළ පාටට වතුර මෙන් බඩඑළිය දිනකට කීප වරක් පිට වෙනවා.

ඊට අමතරව වමනය, මඳ උණ. හතිය ඇතිවෙනවා.

මෙවිට දරුවාට ප්‍රතිජීවක අවශ්‍ය නැහැ. දින කීපයකින් දරුවාගේ තත්ත්වය සුව අතට හැරෙනවා.

බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන පාචන තත්ත්වය ඊට වඩා බරපතළයි. දරුවාට තදින් උණ හටගන්නවා.

මල දියර වශයෙන් හෝ අර්ධ ඝනව දිනකට කීප පාරක් පිට වෙනවා. පිටවන මලවල රුධිරය සහ සීදම් තිබෙනවා.

වමනය යාමට පුළුවන්. නිතර බඩ රිදෙන අතර මල පිටවීමට මෙන් බඩේ කැක්කුම හටගන්නවා.

විවිධ බැක්ටීරියා ආසාදන මල බුරුලට පිටවීමට හේතු වෙනවා.

මොළේ උණ (මෙනින්ජයිටිස් ), මුත්‍රා ආසාදන, මැද කනේ ආසාදන, නියුමෝනියාව වැනි බැක්ටීරියා ආසාදන මල බුරුලට යාමට හේතු වෙනවා. ආහාර අසාත්මික වීම තවත් හේතුවක්. එක් එක් දරුවාට විවිධ දේ අසාත්මික වෙනවා.

උදා- පිටිකිරි ප්‍රතිජීවක ඔසු ගැනීමේදී අතුරු ආබාධයක් ලෙස මල බුරුලට පිට වෙනවා. බඩවැල් ආශ්‍රිත ගැටලු ද මේ කෙරෙහි බලපානවා.

 

උපදෙස් - ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නවමාලිකා ද සිල්වා

2020/10/20 තරුණි බලන්න.