ඕකිඩ් පෝච්චි තැබීමට රාක්ක සකස් කරන්නේ මෙහෙමයි

අතේ ඇති මුදලට ඕකිඩ් පැළ ගෘහය සකසමු
ජුනි 30, 2021

 

අප මේ ගතකරන්නේ තීරණාත්මක කාලවකවානුවකි. නිදහසේ සැරි සරන්නට නොව තමන්ට අත්‍යවශ්‍ය ගමන් බිමන් පවා පසෙකට දමා නිවෙස් තුළම රැඳෙන්නට සිදුවන කාලයකි. තමන් සේම තම ආදරණීය දරුපවුල ආරක්ෂා කරගන්නට නම් ඒ කරුණ ඔබ හොඳින්ම පිළිපැදිය යුතු වේ.

 

ඉතින් නිවෙසටම කොටු වෙලා ගෙවෙන මේ කාලය ප්‍රයෝජනවත් අන්දමින් ගත කරන්නට හැකිනම් එය කොයිතරම් නම් අපූරුද? විශේෂයෙන්ම අතේ මිටේ මිල මුදල් පවා හිඟ මේ කාලය ස්වයං රැකියාවකට අවශ්‍ය අඩිතාලම දමා ගන්නට වැය කරන්නට ඔබට පුළුවනි.

මොහොතක් සිතන්න. ඔබ කාලයක් තිස්සේ පුල පුලා බලා සිටි ඕකිඩ් වගාවේ මූලික වැඩ කටයුතු ආරම්භ කරන්ටන මේ හොඳම කාලය නොවේද? සමූහ පැළ බඳුන්වලින් පැළ වෙන්කර සිටුවීමට, වගා මාධ්‍යය සකසා ගැනීමට සේම පැළ සහිත බඳුන් තැබීමට සුදුසුවන පරිද්දෙන් රාක්ක සහ ගෘහයන් සැකසීම, වැසි ආවරණ තැනීම වැනි කටයුතු සඳහා ඔබට මේ කාලය යොදාගත හැකියි.

පසුගිය තරුණී කලාපවලින් පහතරට තෙත් කලාපයේ හොඳින් වැඩෙන ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් ප්‍රභේද පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළා ඔබට මතක ඇති. එහිදී සමූහ පැළ බඳුනකින් වගාව ආරම්භ කළ හැකි ආකාරය ගැනත් අප සඳහන් කළ විස්තරය මතක ඇතැයි සිතමි. එම පැළ වගාවට සුදුසු අන්දමින් වෙනත් බඳුන්වලට මාරු කරගත යුතුයි. එලෙස මාරු කළ කුඩා ඕකිඩ් පැළ සහිත වගා බඳුන් තැබීමට රාක්ක එහෙමත් නැත්නම් මැස්සක් අවශ්‍ය වේ. පැළ බඳුන්වලට මාරු කිරීමට ප්‍රථම මෙම රාක්කය තනා ගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම එය සැකසිය යුතු ආකාරය පිළිබඳව අද අපි සොයා බලමු.

මෙහිදී ඔබට කල් පවත්නා ආකාරයට ඕකිඩ් ගෘහයක් තනා එයට විධිමත් ලෙස රාක්ක එකතු කළ හැකියි. ඊට අමතරව මේ දිනවල ඔබ සතුව පවත්නා මිල මුදල් මත අඩු වියදමක් සහිතව වසර දෙකක් පමණ පාවිච්චි කළ හැකි ලෙසින්ද මේ රාක්ක සැකසිය හැකියි. එය තීරණය කළ යුත්තේ වගාව සඳහා ඔබට වැය කළ හැකි මුදල සලකා බැලීමෙනි.

 

කල් පවත්නා ගෘහය සඳහා.

මේ සඳහා ඔබ පහත සඳහන් ද්‍රව්‍ය ළං කරගන්න.

1. අඩි 9 1/2ක් උස විෂ්කම්භය අඟල් 01ක් වූ ගැල්වනයිස් බට.

2. අඟල් හතරේ පී.වී.සී. (p.v.c.) වැහි පීලි බට

(මෙම වැහි පීලි බටය තුළට කොන්ක්‍රීට් පුරවා ගත යුතුය.)

බටයේ උස අඩි 2 1/2ක් 03ක් විය යුතුය.

3. අඟල් 2x3 අඩි 4 බැගින් දිග කොන්ක්‍රීට් පරාල.

4. අඟල් 1x2 කොන්ක්‍රීට් රීප්පය.

(මේවාද අඩි 4ක් දිග විය යුතුය.)

5. අඟල් 2x2 ප්‍රමාණයේ G I කොටු දැල (SWG - 10)

6. අඟල් 1/2 G I බට රාමුව.

7. සෙවණ දැල් (ඊශ්‍රායල්)

 

අඩු වියදම් ගෘහයට

1. අඩි 9 1/2ක් උස අඟල් 2x3 ප්‍රමාණයේ පරාල.

(මේ සඳහා ඔබට පොල් පරාල වුවද යොදා ගත හැකියි.)

2. අඟල් 2x4 ප්‍රමාණයේ පරාල කැබලි. මෙහි උස අඩි 2 1/2ක්

හෝ 03ක් විය යුතුය.

3. අඟල් 2x3 ප්‍රමාණයේ අඩි 04ක් බැගින් දිග දැව පරාල.

4. අඟල් 1x2 ප්‍රමාණයේ රීප්ප (දැව) දිග අඩි 04ක් විය යුතුය.

5. මෙහිදී දැල වෙනුවට පැළ කුඩා අවධියේ දී පතුළට කුකුළු

දැල් ගැසූ අඟල් 1x2 රීප්පවලින් තැනූ දැල් බඳුනක් (ට්‍රේ)

පාවිච්චි කළ හැකිය.

6. අඟල් 1x2 ප්‍රමාණයේ රීප්ප රාමුව.

7. ඉන්දියානු සෙවණ දැල.

 

මෙලෙස අඩු වියදම් සහිතව සකසා ගන්නා දැල් ගෘහයක් වුවද ඔබට වසර දෙකකට වැඩි කාලයක් කිසිදු අපහසුවකින් තොරව භාවිත කළ හැකියි. අනතුරුව උදාවන්නේ ආදායමක් උපයා ගන්නා කාලය බැවින් පළමුව මෙලෙස අත ඇති මුදලින් ගෘහය සකසා පසුව කල් පවතින ආකාරයට ගෘහයන් සකසා ගැනීමට වුවද පුළුවන. කල් පවත්නා ගෘහයක් සකස් කර ගැනීමේදී කොන්ක්‍රීට් පරාල සහ රීප්ප ඔබට නිවෙසේදීම සකසා ගත හැකි අතර එසේ නොහැකි නම් කොන්ක්‍රීට් වැඩපොළකින් මිලදී ගන්නත් පුළුවන්.

 

වැසි ආවරණය සඳහා

1. අඟල් 01ක් හෝ අඟල් 3/4 කොන්ඩියුට් බට කැබැලි.

2. U V (පාරජම්බුලකිරණ) කිරණ ආරක්ෂිත පොලිතීන්

3. පොලිතීන් සවි කිරීමට භාවිත කරන ක්ලිප් (clip)

සමූහ පැළ බඳුනකින් කුඩා පැළ ගලවා සිටුවිය යුත්තේ දැල් පෝච්චිවලයි. ක්‍රමානුකූලව එය සිදුකරනා ආකාරය අප ලබන සතියේ දී විමසා බලමු.

 

 

උපදෙස් -

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ