අපේකම පිරුණු ආහාර වේලක රස බලමු

ජුනි 30, 2021

 

මේ ගෙවීයන්නේ අපේ රටට වගේම ලෝකයටත් තීරණාත්මක කාලවකවානුවකි. ඇතිව තිබෙන මේ සමාජ ව්‍යසනයෙන් මිදෙන්න නම් අප සැවොම එකාවන්ව සිට කටයුතු කළ යුතුය. පළමුවෙන්ම ඔබ ඔබේ පවුල ගැන සිතා කටයුතු කරනවා නම් මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම දේශීය ඖෂධ මෙන්ම දේශීය ආහාර කෙරෙහි වැඩි අවධානයක් ලැබී ඇති මේ කාලයේදී ඔබ වැඩි වශයෙන් ප්‍රතිශක්තිය වඩවන ආහාර පරිභෝජනය සඳහා එක්කර ගන්නේ නම් බොහෝ දුරට මේ රෝගයෙන් ආරක්ෂාවීමට හැකි බව වෛදය මතයද වී තිබේ.

එය කෙසේ නමුත් වෙළෙඳපොළේ ඇති එළවළුවලට වගේම පලතුරුවලටත් වසවිස එකතුවන බව අපට නොරහසකි. හැකිතරම් වත්ත පිටියෙන් සොයාගත හැකි එළවළුවක්, පලතුරක් අපේ පරිභෝජනය සඳහා යොදා ගන්නේ නම් එය ශරීරයටද ගුණදායක වනු ඇත. මෙවර රසාර අතිරේකය තුළින්ද ඔබවෙත ගෙන එන්නේ අපේකම පිරුණු රසවත් ආහාර වේලකි.

යෙලෝ ප්‍රයිඩ් ෆ්‍රයිස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී හාල් කෝප්ප 3ක්

එළවළු තෙල් මේස හැඳි 8ක්

බත පිස ගැනීම සඳහා වතුර

චොප් කරගත් සුදුලූනු තේ හැන්දක්

චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1/2ක්

කොටුවට කපාගත් ලොකු

ලූනු ගෙඩි බාගයක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

කරදමුංගු කරල් 3ක්

කරාබු නැටි 3ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

පළමුව සහල් හොඳින් සෝදා බඳුනකට දමා බත පිසගැනීමට අවශ්‍ය වතුරද එකතු කර එයටම කහ කුඩු සහ රස අනුව ලුණු දමා ළිප තබා බත පිසගන්න.

ඉන්පසු පිසගත් බත තැටියකට දමා ශීතකරණයේ දමා පැය දෙකක් පමණ තබන්න.

අනතුරුව ගැඹුරු පෑන් එකක් ගෙන එයට තෙල් දමා රත්කර රත්වූ පසු ඉඟුරු, සුදුලූනු, කරඳමුංගු, කරාබුනැටි එකතුකර බැදීගෙන එනවිට ලූනු කැබැලි එකතුකර මඳ වේලාවක් බදින්න.

එය බැදීගෙන එනවිට ශීතකරණයෙන් බතගෙන එයද දමන්න. දැන් ගින්දර වැඩිකර මිශ්‍රකරමින් මිනිත්තු දෙකක් පමණ පිසගන්න.

හතු මිශ්‍රණය සමඟ මෙම බත ආහාරයට එකතුකර ගත හැකියි.

 

-------------------------------

කැකිරි ජූස්

ඕනෑම ප්‍රදේශයක පහසුවෙන්ම වැවෙන විශ්මිත ගුණැති ඖෂධයක් ලෙස කැකිරි හඳුන්වන්න පුළුවන්.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ වාගේම මුත්‍රා ආබාධ, වකුගඩු රෝග මේ ආදී වශයෙන් රෝග රැසකට ගුණදායක කැකිරි ව්‍යාංජනයක් පමණක් නොව බීමක් ලෙසටත් සකසා ගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කැකිරි ගෙඩියකින් 1/2ක්

දෙහි ගෙඩියක්

වතුර කෝප්පයක්

ලුණු ස්වල්පයක්

අයිස් කැට කිහිපයක්

 

සාදන ක්‍රමය

පළමුව කැකිරි ගෙඩිය හොඳින් සෝදා ඇට සහ ලෙල්ල සමඟ කුඩා කැබැලිවලට කපාගන්න. දැන් මෙම කැබැලි බ්ලෙන්ඩරයට දමා වතුර කෝප්ප දෙකද දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න. මෙයට ලුණු ස්වල්පයක් එකතු කරන්න. පසුව දෙහි යුෂ තේ හැන්දක් පමණ එකතුකර කෝප්පයකට පෙරාගන්න. කැමැති නම් අයිස් කැට 2 - 3ක් දමා බීමට ගන්න.

--------------------------

බැදපු හතු මිශ්‍රණය සමඟ යෙලෝ ෆ්‍රයිඩ් රයිස්

ඈත අතීතයේ පටන්ම රසවත් ආහාරයක් ලෙස බිම්මල් ආහාරයට ගෙන ඇති අතර දියවැඩියාව, වයිරස් ආශ්‍රිත රෝග සඳහාත් හදවත් රෝග සඳහාත් ගුණදායක ආහාරයකි.

එසේම ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, යකඩ, විටමින් සහ කැල්සියම් යන සංඝටකද බිම්මල්වල අන්තර්ගත වෙයි. එවැනි ගුණ පිරුණු හතු යොදා

 

 

ගනිමින් සැකසූ රසවත් බතකි මේ.

 

හතු මිශ්‍රණය

සාමාන්‍ය හතු (කුඩාවට කපාගත්)

ග්‍රෑම් 200ක්

කපාගත් ලූනු ගෙඩියක්

කොළ පැහැති බෙල්පෙපර් ගෙඩියක්

කරපිංචා කිනිත්තක්

අබ ඇට තේ හැඳි 1/2ක්

සූදුරු කුඩු තේ හැඳි 1/2ක්

ගම්මිරිස් කැබැලි මේස හැන්දක්

අඹරාගත් සුදුලුනු බික් 2ක්

අඹරාගත් ඉඟුරු තේ

හැඳි 1/2ක්

ලුණු රස අනුව

එළවළු තෙල්

මේස හැඳි 2ක්

 

සාදන ක්‍රමය

පළමුව පෑන් එකකට තෙල් මේස හැන්දක් එකතුකර රත්කරගන්න. පසුව එයට කපාගත් ලූනු සහ කරපිංචා එකතුකර බැදගන්න. ඉන්පසු එයට කපාගත් බෙල්පෙපර් කැබැලි එකතුකර මිනිත්තුවක් පමණ මඳගින්නේ බැදගන්න. දැන් මේ පෑන් එකටම ඉතිරි තෙල් මේස හැන්ද දමා රත්කර අබ දමා අබ ඇට පුපුරන විට ඉඟුරු, සුදුලූනු සහ කුඩාවට කපාගත් හතු කැබැලි දමා ලුණු සහ සූදුරු එකතුකර බැදගන්න. දැන් පෙර බැදගත් මිශ්‍රණය මෙයට එකතුකර ගම්මිරිස් කැබැලි දමා විනාඩි දෙකක් පමණ මිශ්‍රකරමින් බැදගන්න. මෙය යෙලෝ ප්‍රයිඩ් රයිස් සමඟ ආහාරයට ගත හැකිය.

--------------------------------

මඤ්ඤොක්කා අල තෙම්පරාදුව

රෝග රැසකට ගුණදායක මඤ්ඤොක්කා අල තෙම්පරාදුවක් ලෙස සාදා රස බලමුද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කපාගත් මඤ්ඤොක්කා

අල ග්‍රෑම් 500ක්

මිරිස් කුඩු තේ හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

තුනපහ කුඩු තේ හැන්දක්

අමුමිරිස් කරල් 2 - 3ක්

ලොකු ලූනු ගෙඩියක්

කරපිංචා ඉත්තක්

කෑලි මිරිස් මේස හැන්දක්

අබ තේ හැන්දක්

දෙහි ගෙඩියක යුෂ

තෙල් මේස හැඳි 2ක්

 

සාදන ක්‍රමය

පළමුව කුඩාවට කපාගත් මඤ්ඤොක්කා අල ටික ගෙන බඳුනකට දමා තැම්බෙන්නට අවශ්‍ය පමණට වතුර දමා උඩින් මිරිස්, තුනපහ, අමුමිරිස්, ලූනු, කරපිංචා සහ ලුණුකුඩු එකතුකර පිසගන්න.

මඤ්ඤොත්තා හොඳින් තැම්බූ පසු මිශ්‍රණය වෙනත් බඳුනකට දමා ගන්න. දැන් එම බඳුන නැවතත් ළිප තබා එයට තෙල් එකතුකර රත්වූ පසු අබ, සුදුලුනු, ලොකුලූනු, කරපිංචා එකතු කර රන්වන් පැහැවනවිට කෑලි මිරිස් ද එකතුකර අල මිශ්‍රණය දමන්න. මෙය හොඳින් තෙම්පරාදු වූ පසු ළිපෙන් බා දෙහි යුෂ එකතු කරගන්න.

 

-------------------------

ඇඹරැල්ලා චට්නි

ඵලදරන කාලයේදී අතු පහතට නැමෙන තරමට සෑදෙන මේ ඇඹරැල්ලා විවිධ ක්‍රමවලට සාදා ඔබට ආහාරයට ගන්න පුළුවනි.

දින කීපයක් තබාගත හැකි ලෙස සාදාගත හැකි ඇඹරැල්ලා චට්නියක් මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඇඹරැල්ලා ග්‍රෑම් 500ක්

චොප්කරගත් සුදුලූනු තේ හැන්දක්

චොප්කරගත් ඉඟුරු තේ හැන්දක්

කෑලි මිරිස් මේස හැන්දක්

ලුණු අවශ්‍ය පමණ

කුරුඳු පොතු කැබැල්ලක්

කරපිංචා ඉත්තක්

රම්පෙ කැබැල්ලක්

අබ ඇට තේ හැන්දක්

සීනි මේස හැඳි 3 ක්

පොල්තෙල් මේස හැඳි 02ක්

වතුර කෝප්ප 2ක්

 

සාදන ක්‍රමය

ඇඹරැල්ලා ගෙඩි ගෙන පොතුහැර හතරට පලා සෝදාගන්න. ඉන්පසු තෙල් ළිපතබා රන්වන් පැහැ වන විට චොප්කරගත් ඉඟුරු, සුදුලූනු සහ අබ ඇට එකතුකරන්න. දැන් රම්පෙ, කරපිංචා, කුරුඳු, කෑලි මිරිස් එකතුකර කලවම් කරගන්න. එයට කපාගත් ඇඹරැල්ලා ටිකද එකතුකර කලවම් කරගන්න.මෙය ටික වේලාවක් තෙලෙන් තැම්බෙන්නට හැර පසුව වතුර අඬුකෝප්ප දෙකක් එකතුකර තවදුරටත් තැම්බෙන්නට හරින්න. ඉන්පසුව රස අනුව ලුණු එකතුකරන්න. මඳගින්නේ තැම්බෙන්නට හරින්න. ඇඹරැල්ලා හොඳින් තැම්බුණු පසු සීනි එකතුකර කලවම් කරගන්න. පසුව ළිපෙන් බා නිවෙන්නට හැර ආහාරයට ගන්න.

 

----------------------

බැදපු බටු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

බටු ග්‍රෑම් 200ක්

ලොකු ලූනු ග්‍රෑම්

100ක්

අමුමිරිස් කරල් 2 - 3ක්

තක්කාලි ගෙඩි 2ක්

දෙහි ගෙඩියක යුෂ

ලුණු අවශ්‍ය පමණ

බැදීමට තෙල්

 

සාදන ක්‍රමය

පළමුව බටු සෝදා තීරු ලෙස හෝ රවුමට කපා ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු ලූනු, අමුමිරිස්, තක්කාලි සිහින්ව කපාගන්න. දැන් එයට ලුණු අවශ්‍ය පමණට එක්කරන්න. දෙහි යුෂද දමාගන්න. අවසානයේ බැදගත් බටු දමා කලවම් කරගන්න.

 

-----------------

 

පොලොස් කට්ලට්

 

පොලොස් කියන්නේ ඉතාමත් ගුණදායක ඇඟට ලේ වඩන ආහාරයක්. කට්ලට් කියන්නේ තරු හෝටල්වල පවා හැදෙන ආහාරයක්.

ගමේ ගොඩේ පහසුවෙන්ම සොයා ගත හැකි පොලොස්වලින් නිර්මාංස ආහාර ගන්නා අයට වගේම අනෙක් අයටත් රසවිඳිය හැකි පොලොස් කට්ලට් කොයි තරම් රසවත් ද කියලා හදලාම බලන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් පොලොස් ග්‍රෑම් 200ක්

රතුලූනු හෝ ලොකුලූනු

ග්‍රෑම් 100ක්

අමුමිරිස් ග්‍රෑම් 50ක්

තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 100ක්

චොප් කරගත් සුදුලූනු බික් 3 - 4ක්

චොප් කරගත් අඟල් 1/2ක පමණ

ඉඟුරු කැබැල්ලක්

ගම්මිරිස් කුඩු රස අනුව

ලුණු ස්වල්පයක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

කෑලි මිරිස් තේ හැඳි 1 1/2ක්

කරදමුංගු කුඩු ස්වල්පයක්

කරපිංචා ඉත්තක්

තෙල් මේස හැන්දක්

කට්ලට් බැදගැනීම සඳහා තෙල් අවශ්‍ය පමණ

බිස්කට් කුඩු

පිටි ස්වල්පයක්

 

සාදන ක්‍රමය

පළමුව තම්බාගත් පොලොස් ගෙන වතුර ඉවත්කර පොඩිකරගන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් ළිප තබා එයට චොප් කරගත් ඉඟුරු, සුදුලූනු දමා මඳගින්නේ බැදෙන්නට හරින්න.‍ එයට සිහින්ව කපාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා එකතුකර ගන්න. එයද තෙම්පරාදුවන විට පොඩිකරගත් පොලොස් එකතුකර කලවම් කරගන්න. ඉන්පසු ලුණු කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු එකතුකර හොඳින් කලවම් කරගන්න. කුඩාවට කපාගත් අලද එකතු කරන්න. දැන් මෙය ළිපෙන් බා නිවෙන්නට හැර බෝල කරගන්න.

ඉන්පසු පිටිවලට වතුර සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර බැටරය සාදා ඒ මත බෝල කරගත් පොලොස් කට්ලට් තවරා නැවත බිස්කට් කුඩුද තවරන්න. පසුව තාච්චියක් ළිප තබා එයට තෙල් දමා රත්වූ පසු කට්ලට් බැද ආහාරයට ගන්න.

--------------------

කොහිල අල පෙති බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

 

පිරිසුදු කරගත්

කොහිල අලයක්

ලුණු මේස හැන්දක්

කඩල පිටි ග්‍රෑම් 50ක්

පිටි ග්‍රෑම් 50ක්

බැදීමට තෙල්

කහ කුඩු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

පිරිසුදු කරගත් කොහිල අලය ගෙන සිහින්ව රවුමට පෙති කපාගන්න. ඉන්පසු එය ලුණු මිශ්‍ර වතුරට දමාගන්න.

 

බැටරය සාදා ගැනීම

 

ඒ සඳහා පිටිවලට කඩලපිටි, ලුණු සහ කහ කුඩු මිශ්‍රකර අවශ්‍ය පමණ වතුරද දමා කලවම් කරගන්න.

දැන් ලුණු වතුරෙන් කොහිල පෙති ඉවතට ගෙන බැටරයේ දවටා ගැඹුරු තෙලේ දමා බැදගන්න.

-------------------

 

කෝවක්කා කොළ සලාදය

බොහෝවිට වැට මායිම්වල හරි අපූරුවට වැවෙන කෝවක්කා දියවැඩියාවට, හෘද රෝගවලට, අක්මා රෝගවලට වගේම, වකුගඩු රෝග සඳහාත් ගුණදායක කොළ වර්ගයකි. සලාදයකට, මැල්ලුමකට වගේම කැඳ සෑදීමේදීත් මේ කොළ හරිම අගෙයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පිරිසුදු කරගත් කෝවක්කා කොළ මිටක්

පෙති කපාගත් රතුලූනු

කෝප්ප් 1/2ක්

අමු මිරිස් කරල් 2ක්

තක්කාලි ගෙඩියක්

දෙහි ගෙඩියක යුෂ

ලුණු රස අනුව

ගාගත් පොල් මේස හැදි 2ක්

 

සාදන ක්‍රමය

හොඳින් සෝදාගත් කෝවක්කා කොළ ගෙන වතුර සිඳෙන්නට හැර සිහින්ව ලියාගන්න. ඉන්පසු රතුලූනු, අමුමිරිස් සහ තක්කාලි සිහින්ව කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට සිහින්ව කපාගත් රතුලූනු, අමුමිරිස් සහ තක්කාලි දමන්න. එයට ලුණු සහ දෙහි යුෂ එකතු කරන්න. පොල්ද එකතු කරන්න. ඔබට කැමැති නම් පොල් භාවිත නොකිරීමට ද පුළුවනි. ඉන්පසු සිහින්ව කපාගත් කෝවක්කා කොළ දමා කලවම් කර ආහාරයට එක්කර ගන්න.

-----------------------

කොස් ඇට කළුපොල් මාළුව

බත්ගස නමින්ද විරුදාවලිය ලත් කොස් ගස පුරාවටම ඖෂධීය ගුණ රැසක් ඇති බව අප සැවොම දන්නා කරුණක්.

මේ ගසේ ගෙඩි කුඩා කාලයේදී අප පොලොස් ලෙස ආහාරයට ගන්නවා වගේම එය හොඳින් පැසුණු පසු විවිධ ක්‍රමවලට සාදා ආහාරයට ගැනීම සිදුකරනු ලබයි. අප අද මේ ගෙන එන්නේ කොස් ඇටවලින් සාදන ලද රසවත් කළුපොල් මාළුවක් ඔබට ඉදිරිපත් කරන්නයි. මේ දිනවල කොස්ගස යට වැටුණු කොස් ඇට ඕනෙ තරම් ඇති. වියදමක් නැතුවම හොයාගන්න පුළුවන් කොස් ඇට ටිකෙන් හදන කළුපොල් මාළුවක රස බලන්නකෝ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් තම්බාගත් කොස් ඇට

ග්‍රෑම් 500 ක්

මිරිස් කුඩු තේ හැඳි 2ක්

තුනපහ කුඩු තේ හැන්දක්

කපාගත් ලොකු ලූනු ගෙඩියක්

කරපිංචා කොළ ඉත්තක්

රස අනුව ලුණු

දියකිරි කෝප්ප 2 ක්

මිටිකිරි කෝප්පයක්

 

බැද ගැනීම සඳහා

ගාගත් පොල් ටිකක්

සූදුරු, කොත්තමල්ලි

කුරුඳු කැබැල්ලක්

කෑලි මිරිස් තේ හැඳි 2ක්

කැකුළු හාල් මේස හැදි 2ක්

 

සාදන ක්‍රමය

තම්බාගත් කොස් ඇට ටික තලාගන්න. ඉන්පසු එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ලූනු, ලූණූ කරපිංචා එකතුකරන්න. දියකිරිද මෙයට එක්කර ළිපේ තබා මදගින්දරේ පිස ගන්න. කිරි හිදීගෙන එන විට ඉහතින් බැද හොඳින් අඹරාගත් කුඩු ටික මිටිකිරි කෝප්පයට දමා කලවම් කර එයද කොස් ඇට මිශ්‍රණයට දමා නටවා ළිපෙන් බා ගන්න.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

සුජාතා ජයරත්න

 

 ඡායා - උපාලි ජයරත්න