මම ඉගෙන ගත් සෑම දෙයක්ම දෙයක්ම ප්‍රායෝගිකව කරන්න උත්සාහ දරනවා

අගෝස්තු 4, 2021

 

සාදික්කා ලෙල්ලෙන් ඉසුරු මවන

මහනුවර ශ්‍රීමතී ගුණසේකර

 

මුළුතැන්ගෙයි අපූරු රස කාරකයක් වූ සාදික්කා භෝගය සේම වගාව පිළිබඳ පසුගිය සති කිහිපය පුරාවටම බොහෝ කරුණු කාරණා අපි කතාබහට ලක් කළෙමු. ඒ අනුව අද ඔබට හඳුන්වා දෙන්නේ සාදික්කා වගාවේ අතුරු නිෂ්පාදනයක් වූ සාදික්කා ලෙල්ල උපයෝගී කරගෙන අතමිට සරු කරගත් අපූරු කාන්තාවක් පිළිබඳයි.

ඉවත දමන සාදික්කා පොත්ත එහෙමත් නැත්නම් වැඩිදෙනකු දන්නා හඳුනන සාදික්කා ලෙල්ල තුළින් ඉසුරු මවන සුවිශේෂී කාන්තාවක් වූ ඇය මහනුවර, උඩුවෙල, වතුලියද්දේ පදිංචි ශ්‍රීමති ගුණසේකර මහත්මියයි.

වෙනස් ඇසකින් ජීවිතය දෙස බලන්නට පුරුදු වූ ඇය අන් අය පවත්වාගෙන යන සාම්ප්‍රදායික ව්‍යාපාරයන් වෙනුවට නවතම නිෂ්පාදනයක් සොයා ගත්තාය. විශේෂයෙන්ම ඉවත දමන සාදික්කා ලෙල්ල තුළින් හොඳ ප්‍රයෝජනයක් ගන්නේ අන් අයට ද ආදර්ශයක් සපයමිනි.

 

ශ්‍රීමති මෙලෙසින් සිය හඬ අවදි කරන්නීය.

 

“ අපේ කාන්තාවන් බොහෝදෙනෙක් නියැලෙන ව්‍යාපාරයක් වූ කාන්තා ඇඳුම් මැසීම තමයි මගේ මුල්ම ව්‍යාපාරය බවට පත්වූයේ. අනතුරුව මම පාසල් බෑග් මැහුවා. නගරයේ කඩවලට සහ පාසල්වල ඇණවුම්වලට මේ බෑග් ලබා දුන්නා. නමුත් කියන්න කනගාටුයි කලට වෙලාවට මට මුදල් ලැබුණේ නැහැ. රජයේ ප්‍රමිතිය යටතේ නිපද වූ පාසල් බෑග්

ආවට පස්සේ අපේ ඒවා නිකම්ම ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා පාඩු වින්දා."

 

ඔය අතරතුරේ ඔබ කාන්තා සමිතියක තනතුරකුත් දරනවා.

" ඔව්. අපේ ගමේ උඩුවෙල වත්ත ශ්‍රමශක්ති කාන්තා සමිතිය වනිතා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධව පිහිටවනු ලැබුවක්.

 

මම එහි සාමාජිකාවක්. අපේ සමිතියේ වැඩි දෙනෙක් විවිධ නිෂ්පාදන කරනවා. මම අවුරුදු 12ක් තිස්සේ මේ සමිතියේ සභාපති ලෙස කටයුතු කළා. මේ සමිතියේ සාමාජිකාවන්ට විවිධ නිෂ්පාදන සහ ස්වයං රැකියා පිළිබඳ පුහුණුවීම් ලබා දුන්නා. ඒත් කියන්න කනගාටුයි අපේ කාන්තාවන් බොහෝ දෙනෙක් ඒ දැනුම සහ පුහුණුව ලබා ගත්තාට ගෙදරට වෙලා නිකම්ම ඉන්නවා. තරමක් කැපවෙලා ඒ වගේ දේවල් කරන්න කැමැති නැහැ. "

එතකොට මේ සමිතිය හරහා තමයි ඔබ මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික දැනුම ලබාගත්තේ.

" සාදික්කා චට්නි හදන්න මම මුලින්ම ඉගෙන ගත්තේ ගන්නෝරුවේ පිහිටි පසු අස්වනු තාක්ෂණ ආයතනයෙන්. ඊට පසුව

කර්මාන්ත අමාත්‍යංශය මඟින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව අපේ සමිතියේ කාන්තාවන්ට සාදික්කා චට්නි සහ ගම්මිරිස් සෝස් පිළිබඳ මනා පුහුණුවක් ලබා දුන්නා. මෙහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ දිස්ත්‍රික් ව්‍යාපෘති නිලධාරී හිල්ඩා සෝමලතා මහත්මියට විශේෂ ස්තූතියක් පුද කරන්නට මම කැමැතියි. "

ඊට පස්සෙ .....

" අපි ලබාගත් දැනුම හා පුහුණුව යොදාගෙන සාදික්කා චට්නි නිෂ්පාදනය කරන්නට පටන්ගත් පසුව කෘෂිකර්ම

දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ අංශයෙන් මේ සඳහා තත්ත්ව සහතික ලබාදුන්නා.

ඇත්තටම මම හදන සාදික්කා චට්නි අවුරුද්දක් දෙකක් වුණත් තියාගන්න පුළුවනි. හැබැයි කෘත්‍රීම රසකාරක කිසිවක් මෙහි අඩංගු කරන්නේ නැහැ.මේ චට්නිවල අඩංගු වන්නේ පැසුණු සාදික්කා ලෙලි, කුළුබඩු , විනාකිරි සහ සීනි ආදියයි.

අපේ නිෂ්පාදනයට අවශ්‍ය සාදික්කා ලෙලි මේ අවටින්ම සොයා ගන්නවා. මොකද සාදික්කා භෝගයේ අස්වනු වසර පුරාම ලබාගන්න පුළුවනිනේ. එක ප්‍රදේශයක තිබෙන ගස්වල ගෙඩි ඉවර වෙනකොට තව ප්‍රදේශයක සාදික්කා ගස්වල ගෙඩි හට ගන්නවා. ඒ නිසා අමුද්‍රව්‍ය කොහේ හරි තැනෙක තිබෙනවා. අපි ඉතින් තියෙන තැනකින් ගන්නවා."

ඔබ අලෙවි කටයුතු සිදු කරන ආකාරය ගැනත් අපි කතා කරමු.

" මුලින්ම අපේ සාදික්කා චට්නි නිෂ්පාදන අපි රැගෙන ගියේ මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයෙන් සංවිධානය කළ ප්‍රදර්ශනවලට. ඒ වගේම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් විදාතා

ආයතනයෙන් සංවිධානය කළ අලෙවි ප්‍රදර්ශනවලටත් සහභාගි වුණා. මීට අමතරව මහනුවර YMCA ගොඩනැඟිල්ලේ සහ

ක්‍රිස්තියානි පල්ලියේ තිබු අලෙවි ප්‍රදර්ශනවලටද සහභාගි වුණා. වෙනස් අලුත් නිෂ්පාදනයක් නිසා හොඳ අලෙවියක් තිබුණා.

මේවා ශරීරයේ කොලෙස්ට්‍රෝල් පාලනයට ඉතා හොඳයි.

අපි අලෙවි ප්‍රදර්ශනවලට ගියාම මුලින්ම මේ නිෂ්පාදනය අවට ඉන්න ජනතාවට නොමිලේ රස විඳින්න ඉඩ දෙනවා. ඊට පසු

ඒ අය සල්ලි දීලා ගන්න පෙළඹෙනවා.

පසුකාලීනව මේ ප්‍රදර්ශන පැවැත්වීම ටිකෙන් ටික අඩුවීමත් සමඟම අපි මේ සාදික්කා චට්නි නිෂ්පාදන කඩවල්වලට දාන්න පටන් ගත්තා. නමුත් එහිදී විවිධ ගැටලු මතු වුණා. විකිණෙන්නෙ නැතිව ඉතිරිවන බෝතල් පවා අපට ලැබුණේ නැහැ. වියදම් කළ සල්ලිත් නැහැ. සමහර කඩවල් පවා ඒ තැන්වල දකින්න ලැබුණේ නැති අවස්ථා තිබුණා.

වර්තමානයේ අපේ රටේ තියෙන වසංගත තත්ත්වයක් එක්කලා අලෙවි කිරීමේ ගැටලු තියෙනවා. අවශ්‍ය දැනුම

තාක්ෂණය මට තිබෙනවා. තව සේවකයන් යොදාගෙන මෙය දියුණු කළ හැකියි. එවිට ලොකු ප්‍රමාණවලින් හදන්නත් පුළුවනි."

පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියන්න.

" මගේ පවුලේ සහයෝගය උපරිමයෙන් ලැබෙනවා. මගේ මහත්තයා රජයේ රැකියාවක් කරනවා. ඔහු ලයනල් ගුණසේකර. මගේ දුව දැනට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. ඇය සඳමාලි ගුණසේකර. පුතා ලහිරු ගුණසේකර. ඔහු අධ්‍යාපනය ලබනවා."

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැනත් සඳහනක් කළොත් .....

 

" කුළුබඩු ආශ්‍රිත මෙම නිෂ්පාදන අලෙවි කළ හැකි ආකාරයට අලෙවිසලක් දාන්න අදහස් කරගෙනයි ඉන්නේ.

ඒ වගේම අක්කර 3 1/2ක් වූ ගෙවත්ත මම අස්වද්දනවා. කරාබු, ගම්මිරිස්, එනසාල්, කෝපි, ඉඟුරු, කහ වගේ කුළුබඩු

භෝග රැසක් මම මෙහි වවලා තිබෙනවා. කොස් , කෙසෙල්, එළවළු, පලතුරු, අලවර්ග, පලා ඇතුළු ගෙදරට අවශ්‍ය සියලු දේ අපි වවලා වසවිසෙන් තොරව ආහාරයට ගන්නවා. අසල්වාසීන්ටත් දෙනවා. වැඩි හරිය විකුණනවා.

මම අපේ ප්‍රදේශයේ අනිකුත් කාන්තාවන්ට ශක්තියක් වෙමින් සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත් කටයුතු කරනවා. අපේ ප්‍රදේශයේ

ශක්ති ප්‍රජා මුල සමිතියේ ජල ව්‍යාපෘතියක් පටන් ගත්තා. මාසෙට දවස් 4ක් මම එහි වතුර බිල් කඩන්නත් යනවා.

මෙවැනි නිෂ්පාදන සඳහා කාන්තාවන් කෙතරම් පුහුණුව ලැබුවත් ඒවා නිෂ්පාදනයට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මම ඉගෙන ගත් හැම දෙයක්ම වගේ ප්‍රායෝගිකව කරන්න

උත්සාහ කරනවා. අපේ බොහොමයක් කාන්තාවෝ කම්මැලියි. එයාලා ඉක්මන් වාසි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්න නරකයි. ඕනෑම ක්ෂේත්‍රයක දුර ගමනක් යන්න නම් කාන්තාවකට දරා ගැනීමේ හැකියාව අවශ්‍යයි."

 

 

 

විශේෂ ස්තූතිය - දිශාන්ති කොඩිතුවක්කුට

සහ රුවන් බස්නායකට

ඡායාරූප - ලසන්ත අබේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.